Monday, April 26, 2021

ප්‍රේමයේ මතක

මීදුම් දුමාරයේ..

මන්දාරම් නුවර මායිමේ 

පාලු මඟ දිගේ සීතලේ...

ආයේ යමුද..මාත් එක්ක

කොළපතන ඇල්ල පාමුලට..!  

ශෘංගාර ඉමෙක කෙටි වතක් නොවේ...ඒ..

අත්නෑර බැඳුණු පුරවතක්‍ ය මේ...

මා හා..යන්න...නොහැක ඔබට

ගඟින් එතෙරට..

කුසලැති දිවිතුරාණෙනි...

සංසාර ගමනේ නැවතුමයි මෙසේ

පව්කාර ලොවට තබන තිත එසේ..

සතර දැහැන් පසු කරන් ගොස්

දකින විදසුන් මග දිගේ...

හැරී නොබලා ඉතින් යනු මැන

ගොයුම් පා තැබි අඩි දිගේ..

එකින් දෙකටද දෙකින් තුන ලෙස

සතර සත මත සිත තබා

අමා මහ සුව විඳ ගනුව හිමි

හුස්ම දෙස වැසි නෙතු අයා...

මුව නොබැන හිඳිමි ඇස් පියන් අගුලුලා

උණු කඳුලු රූරන කොපුල් බැඳ තබා...

වාවනු කෙළෙස මුත් දරමි එක සිතින්

ගිනි සා මැදිව සිහි එළවගමි නිතින්..

පසු ගමන් එමි බවුන් වඩමින්

ඔබේ රිසි ඉටුවෙනු පිණිස 

නිතින් අදිටන් පුරමින්..


~ගයනි දයාරත්න~

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.