මී මල් මන්දාරම බැද්දේ එමට
වැහි ඇල් කෝඩෙක පාටක් නෑ ගමට
බිජු වැල් දැමුණා කක් හොටයෙන් බිමට
නල රැල් වැදුනේ ගත ගිනි රස්නයට
වැළපෙයි මහදත් ඉරි තැළිලා සොඳට
අවුලයි ලැව් ගිනි විඩයෙන් විඩ මනට
කිම්දැයි කතිකා නෑ දැන් පෙර ලෙසට
හිත්ලයි දෝ නුඹෙ ඔය දරදඬු කොමට
පාරා දැමුණු හද දිව රෑ රිදෙන සඳ
ධාරා කඳුලු හෙලු නෙතු දුටුවා නොවෙද
නෑරා හිඳින හද තෙතමනයක් කොහිද
වාරා ද පෙම දැන් මා මායිම් නැතිද
මල් වාරම් කණ වැකුණද සුලඟෙ එතී
සල් සපු නා නෙලු දැන් මට සුවඳ නැතී
සිල් සුගඳින් ගත සිත පුරවාන නිතී
කල් බලලා හිමයට වැදහෙම්ද සිතී
දෙහද එකලු කළ සෙනෙහස දුර ගානයි
සුවඳ නිළමෙ හට මා සිහි නැති ගානයි
විලඳ සමඟ නෙක මී පිඬු ඇති ගානයි
සුවඳ සොයා වෙන අතකට ගිය ගානයි
හූල්ලා සැපය රිසි වී නොමැති තැන
බැඳුම්ලා ගෙවන දිවි මරු උගුලෙ ලන
නාල්ලා සසර විසකරු ලෙසින් ගෙන
කාරලා පි අලුයම කෙළ පිඩ ලෙසින
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.