Saturday, April 25, 2020

~මව් මිණි ගුණ~



සීදේවී නැණින් බැබලෙන මේධාවී
පීදේවී කුඹුරු සෙනෙහෙට පලදාවී
කිරි දේවි ආදරෙන් ඇස් පාදාවී
දිවි දේවී කුඩුම්බයෙ සවි සාදාවී
 
දුක් උහුලා කුසින් වැදු දරු දැඩි කරලා
නිඳි මරලා අඬන දරු හුරතල් කරලා
නාවාලා ඇඳුම් දා හිස පීරාලා
පින් දීලා මදිය මව් ගුණ සිහි කරලා
 
රස කරලා හොද්ද ඒදා බත උයලා
වැඩ කරලා කවා එක එක ගුලි අනලා
සරි කරලා ගෙබිම පිරිසිදු කොට තබලා
වද වීලා පවුලෙ දුක සැප ගැන සොයලා
 
නැති කමට පලි ගැහැව්වේ නැත පියට
ඇති දෙයට පිරිමැස්ම හුරු බුහුටියට
දරු පෙමට ඉහිලු දුක හද රැඳි මෙතට
බුදු පුදට වඳින අත් හිමි ඔබෙ නමට

දහම් වැනී සක්වලට මුසු සුතුරු මෙනී
දිවැස් දිනී දෙව් අඟන මුදු කෝමලිනී
ධනංජනී දරු පෙමේ ඉසුරින් පිරුණී
කෙතයි මිණී නිමක් නැති ගුණයෙන් දිලුනී

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.