Saturday, April 25, 2020

~ ගැහැණියකගේ විදසුන ~


පෙරුම් පුරා හිමි දු‍ටු සඳ

බලන් ඉඳල කල්

පින් පාටට පිරි වත දැක

ඉණු තු‍ටු කඳුලැල්….

ලඟට ගිහින් තුරුලු වෙලා

හුරතල් වූ මං

දැවටි දැවටි ආදරයෙන්

දොඩමලු වූ මං….



හෝරාවක් ගියෙ නෑ

පොඩි ඉඩක් ලබාගෙන

ගියෙ ඔහු කිසිවක් අමතක

බවක් කියාගෙන….



දැණුනා මට හොරයක්

පිරුණා නෙතු කඳුලක

තාම හැදිල නෑ නොවැ මේ

හිසයි කඳයි දෙක….



මේ දේවල් දැක දැක

මට එපා නොවනු කිම..?

දරාන මං හිටියා මා

හිමි  මගෙ පුද බිම….



දොර වහලා නෑනේ

කාරයේ කියාගෙන

එන මා වෙත දුරකථනයෙ

ඇමතුම අරගෙන….



ඇසුවානම් ඇසුවා පමණයි

ලෙස එය ගෙන

දුක පිරි හදවත තනියම

මං සනහාගෙන….



රෑ යහනේ ආදරයෙන්

මා දෝතින් ගෙන

නිදා සිටින හිමි දු‍ටු මට

සැම අමතක වෙන….



පාන්දරින් ඇහැරුණෙ මට

කොන්දෙ ඇවිලුමට

පෙරේදා ඉඳන් එය

වධ දෙනවා පිට පිට….



සැණෙකින් දු‍ටු දෙය කම්පා

කරවිය මා හද

කෙටි පණිවිඩ යවනව

ඔහු අලුයම කාටද….




පියා ගතිමි දෑසම මගෙ

නිදි මෙන් තද කර

මුණිවත  ‍රැකි නොදු‍ටුව සේ

ඉකියද හිර කර….



දු‍ටුවානම් දු‍ටුවා පමණයි

නැවතත් සිතා

බුදු බණ සිහි කෙරුවා මං

මතු නිවනම පතා….



හිතුවා කිම කරමිද මම

හද පිරි මැද මැදා

ඔහු හැර නොම යමි මොක වුව

ගමි ඉවසා වදා….



හවස් යාමෙ වැඩ ඇරිලා

ගෙට ආ හිමි සඳ

ආදරයෙන් සිප ගත්තෙමි

ඔහු මගෙ රන් කඳ….



ගත තිබුණත් මා ලඟ

හිත වෙන අයටත් බෙදා

රඟන නලුව නරඹමි

දස්සයි මා හිමි සදා….



දැණුනානම් දැණුනා

පමණයි සද්දම් අරා

මගේ මැණික මට ලොව

අනියත නිති සිහි කරා....

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.