
තාල කඳන් යට වැටි තල් ගෙඩි ගෙන දර දැම්මා
කෙඳි රැහැ රැහැ කිරි මිරිකා පිනාටු ඒ දැම්මා
නෙක දාබිඳු මැද දිවිගැට ගහනා තංගම්මා
සින්න තම්බි බයිසිකලේ ඉදිරි පසින් නග්ගා
මිරිඟුව දිසි පාර දිගේ හතිලාගෙන පාගා
කියන අහන කෙනෙක් නැතිව හද නැගි දුක හංගා
කෑලි හැලෙන නගරය සිහි කෙළෙ නැති වුණු නංගා
වියළි මුවේ මැලි දෑසේ හැඟුමන් නැති ගානයි
කම්මුල් ඉරි තැළිලා චුන්නාකුම් බිම වාගෙයි
මරන් මැරෙන හේ තාමත් ගල් පිළිමය සේමැයි
සිහි එල ඇහැරීයන් නිදහස දැන් අත මානෙයි
තල් හකුරින් පුරවම් යැයි කවි ලීවත් කොතරම්
කළු දොදොලින් ගෙනයෙම් යැයි ගී ගැයුවත් මනරම්
ඇත්ත නැත්ත මැද හිරවුණු නුඹේ මගේ සිතුවම්
ජීවය ගනු නොහී හඬනු හොඳ හැටි දුටුවෙමි මම්
යාල්පානෙ කෝඩු මගේ හද කුකුසක් නැංඟා
නම්ම ගත්තෙ උන් හිමිහිට නොවේද පිට අතගා
සැණින් උඹේ වියළි දෙනෙත් පසාරු කර රිංගා
හද පිරිසා බැලුවෙමි එහි මොනවද ඇති හංගා
කවිත් එපා පොතුත් එපා ගීත් එපා තංගා
තෙල දසුනේ පුවත් එපා රූප එපා තංගා
අපි දොඩමළු වී සියල්ල ලෙහා ගනිමු තංගා
සුදු රැවුලෝ එපා උඹට අපි ඉන්නව තංගා
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.