Saturday, April 25, 2020

ඇස්කෝට් සර්විස්



උදේ පාන්දර බේස් ලයින් එකේ ට්‍රැ‍ෆික් එකනම් පුදුම පිස්සුවක්. වාහන එළවන එක මොට්ට ඩ්‍රයිවරෙක් කරන ගොන් වැඩක් නිසා වාහන තොගයක් පාරේ තදබද වෙනවා. සේරම ඉන්නෙ ඔ‍ෆිස් ක්‍රව්ඩ් එක. අනිත් හුඟක් ස්කූල් සර් විස් වාහන. 
 
"මදැයි ටැක්සියක් අරන් උදෙන් ආවා ටිකක් කළින් ඔ‍ෆිස් යන්න.."

 සඳුන් නුරුස්සනාවෙන් තමන්ටම මුමුණ ගත්තෙ අතේ ඔරලෝසුව දිහා හිතේ බරකින් බලන ගමන්. හිතට ආව අමාරුව ටිකකට හීන් වෙලා ගියේ ලඟදි ගත්ත ඒ බ්‍රැන්ඩඩ් ඔරලෝසුවෙ දිස්නෙට. වාහනේ ගෙදර දාලා ටැක්සියකින් උදෙන්ම සඳුන් පිටත් උනේ ඔ‍ෆිස් එකේ හදිසි වැඩ ටිකක් ඉවර කරලම අද හවස මුම්බයි බලා යන ෆ්ලයිට් එක අල්ලගන්න. ඔහු වෘත්තියෙන් අලෙවි කළමනාකරුවෙක්. සඳුන්ට තිබුණේ බොහොම නිර් මාණශීලි මනසක්. කොළ ගොඩකට, ෆයිල් ගොන්නකට යටවෙලා පිළිවෙලකට ඉලක්කම් එකතු කර කර එක තැනකට වෙලා ඉන්න පුලුවන් චරිතයක් නෙමෙයි ඔය හාදයා.

ඇත්තටම කිව්වොත් සඳුන්ගෙ හුඟක් අදහස් තිබුණෙ හඳේ. ඒ හින්දම පොඩි වයසකින් අලෙවි ක්ෂේත්‍රයේ ඉදිරිපෙළ පු‍ටුවක ඉඳගන්න ඔහුට පුලුවන් වුණා. අලෙවිකරණයම දවල් රෑ නැතුව ඔලුවෙ දුවපු ඔහුට හැමදේම යථාරූපී ලෙසත් තර් කාණුකූලවත් දැක්කේ ලස්සන ෆැන්ටසියකට හරවගෙන. ජැන්ඩි පහට ඇඳලා බ්‍රෑන්ඩඩ් ඇඳුම් ආයිත්තම් අඳින්න ඔහු ඉතා ඇලුම් කලා. තමන්ගෙ කණ්ඩායම් සගයොත් එක්ක පුලුවන් හැම වෙලාවෙම කෑම කන්න අලුත් අලුත් ‍ෆිල්ම්ස් බලන්න සින්දු කිකියා පාටි දැම්මට පුදුම වැඩේ කියන්නෙ එක දුම් බටයක්වත් අරක්කු උගුරක්වත් ඔහු කටේවත් නොතියපු එක. අලෙවි ලෝකයේ හුඟක් සෙල්ලක්කාර උන් අතරෙ සඳුන් ප්‍රතිපත්ති ගරුක මිනිහෙක් වුණා. හැබැයි සඳුන්ට තිබ්බෙනම් පුදුම වාචාල කටක් වුණාට ඔහු උත්පත්තියෙන්ම සුන්දර හදවතක් ඇත්තෙකුව ඉපදී තිබුණා. ඒ නිසාම විහිලුවට කෑමොර දීගෙන මරා ගන්න ඔහුගේ කණ්ඩායම් සගයින් ඔහුට එක පවුලක් වගේ වුණා.

අලෙවි ලොව සුප්‍රසිද්ධ කතුවරයන්ගේ පොත් අස්සේ සඳුන් රෑ දවල් නොබලා බොහෝ කාලයක් පැළපදියම් වුණේ ඔහුට තිබුණු මහා පුදුම දැනුම පිපාසය නිසා. ඔහුට බොහොම දරුණු විදිහට සිය කෙෂේත්‍රයට අදාළව යාවත්කාලීන වෙන ලෙඩක් තිබුණා. ඒක හොඳ ලෙඩක්. ඒ නිසාම සඳුන් වැඩ කරපු කොම්පැණියෙ ලොකු ලොක්කෝ ඔහුට ඇහුම්කන් දුන්නා. ඔහුව උසස් කළා විතරක් නෙවෙයි ඔහු සමඟ ව්‍යාපාරයට සම්බන්ධ බොහෝ දේ ගැන කතාකලා. ඒ ඔස්සේ ඔහුට හොඳ අවස්ථා උදාවුණා. අද හවස යන්න තියෙන මුම්බයි ගමනත් අන්න ඒ වගේ ලැබුණු එකක්. ඉන්දියාවේ මුම්බයි නගරයේ පැවැත්වීමට නියමිතව තිබුණු අලෙවි සමුලුවක් සඳහා සහභාගි වීමට සූදානම් වුණේ ඉහළ කලමනාකරණයෙන් ඔහුගේ නම ඒ සඳහා නාම යෝජනා වූ නිසයි.

කොහොම වුණත් සඳුන් තාමත් මග...

"චික්.. හිතපු එකක්වත් කරන්න වෙන්නෙ නෑ දැන් මේ මගුල් ට්‍රැ‍ෆික් එකක් නිසා. දහයටවත් යාගත්තොත්..." සඳුන් රියදුරු තැනට ඇහෙන නෑහෙන ගාණට නෝක්කඩු ස්වරයෙන් කිව්වා. කොහොමහරි යාන්තම් දහයට පහක් තියලා ඔහු කාර් යාල පරිශ්‍රයට ආවා.  ගෙනියන්න ගෙනාපු බෑග් ටික සිකියුරිටි එකෙන් තිබ්බ සඳුන් දුවලා ගිහින් විදුලි සෝපානයට ගොඩ වුණා. 

"ආ...........උඹ කලින් එනවා කිව්වා නේද? අද යන්නෙ නැද්ද?" කැබින් එකේ පු‍ටුවෙ වාඩි වෙන්නත් කළින් අරවින්දගේ ටකරං කටහඬ ඇහුණා.

"මොන කළින්ද බං මේ මගුල් ට්‍රැ‍ෆික් එකේ. මං තාම පාස්පෝට්, ටිකට්වත් අතට හම්බවුණේ නෑ එච් ආර් එකෙන්. අපරාදෙ කියන්න බෑ හරිම සුන්දර මානව සම්පත් සේවාවක් තමයි එකේ තියෙන්නෙ.." සඳුන් උපහාසාත්මකව කිව්වේ කට කොණට හිනාවක් අරන්. 

" මේ සඳුනා... මේ සැරේවත් මොනවහරි කරගනින්.හාල් කෑල්ලක් වගේ ඉන්නෙ නැතුව. භාරතයෙත් ඉන්නවා සුකුමාල ලලනා ඉතිරිලා.. අම්මෝ ඒවගෙ ලස්සන. මේ මුං වගේද.... ! මුන්ට ඉතින් මැරිලා ඉපදෙන්න වෙයි එහෙම වෙන්න..." අරවින්ද ඒ නක්කලේ දැම්මෙ ටිකක් එහායින් පාඩුවේ වැඩ කර කර හිටිය නඳුනිට. චීත්තෙ වගේ අනුන්ගෙ කුණු ගොඩවල් අවුස්සන අරවින්දව නඳුනිටනම් පෙන්නන්න බෑ. "ඕකගෙ මරාල හොයන්නෙ කව්ද දන්නෙ නෑ" නඳුනි දත්මිටි කෑවා. අරවින්දගේ සෙවල කතාවට සඳුන්ට මැවිලා පෙණුනේ ඒකගෙ කට පල්ලෙන් කෙළ ගඟක් බේරෙනවා වගේ.

“උඹට තියෙන්නේ පැණි පෙරන ලෙඩක්..! ඔය කට දෙපැත්ත පිහිදා ගනින්" සඳුන් ගෝරණාඩු කරා.
"ආ.........එහෙමද ආසා...?අනේ උඹෙ සීලේ...ඔහොම වේලෙන්නෙ නැතුව ඒවටත් ටිකක් ඔලුව දාපන්. පොඩි ආතල් එකක් තියෙනවා ඒකෙත්. දේශ සීමාව පැන්නට පස්සෙ උඹ නිදහස්. ඒවට පව් සිද්ධවෙන්නෙ නෑ මල්ලී......." ආයෙත් එළි බැස්ස අරවින්දගේ ගොං හඬට ඔ‍ෆිස් බිතිති දෙදරුවා වගෙ සඳුන්ට දැණුනා.
"උඹ කියවපන් ඇල් රීස්ගෙ පොතක් දෙකක්. තොට වෙලා තියෙන්නෙ දන්නවා වැඩියි. ඒවගේම නොසන්සි‍ඳෙන විසේ. ඒ හින්දා එකක්වත් හරියට උඹෙ ඔය ඔලු පෙට්ටියට යන්නෙ නෑ. හතර වටේටම ඇන්ටෙනාව දික් කර ගත්ත ගමන්මනේ. ඕකට කියන්නෙ දැඩි සන්නිවේදනයේ වැ‍රැද්ද. ඒ හින්දා ඔ‍ෆිස් එකේ හිටියත් මෙලෝ රහක් නෑ. ගෙදර ගියත් මෙලෝ රහක් නෑ. පාරෙ ගියත් මෙලෝ රහක් නෑ. ඔලුවෙන් ගෑණු ඕවර් ෆ්ලෝ වෙනවා. එකක්වත් හරියට හිටින්නෙ නෑ. ඔය....ඔය...... දැනුත්  වැටෙනවා මට පේනවා දෙපැත්තෙන්. යකෝ........... බෝහෝම සරළ විදිහට එකක් කරපන්. අන්න ඒකයි ක්‍රමේ. මේ පේනවානෙ. අපිට නෑනෙ ඔය නරක ලෙඩ. අපි සදා නිදහස්...." සඳුන්ගේ උපහාසය අරවින්දව කාගෙන ඔ‍ෆිස් එක පුරාවට පැතිරුණා.
"අනේ උපාසක.... බලමුකෝ...අපිට නොකිව්වට කමක් නෑ පුතා...පලයන්කො හොරෙන්.
එහි රස දන්නෝ........... නිතැතින් යන්නෝ.......
ඒ නොදන්න ‍තෝ............ මොකට උපන්නෝ..........."
මේ සැරේනම් අරවින්දගේ කතාවට සඳුන්ටත් බකස් ගාලා හිනා ගියා. මොන වල් කතා කිව්වත් ඌ හොඳ එකා. තමන්ගෙ වුවච සගයා ගැන සඳුන්ට අනුකම්පාවක් පහළ වුණා.
අතරෙ ඔන්න පැත්තකින් නඳුනිත් කට දැම්මා. " ගෑණියෙක් කියන්නෙ ලස්සන ස්වරයක් වගේ. එහෙම බලනකොට සංගීතය වගේම ආදරයත් විශ්ව භාෂාවක්. ඒකට පාටක් නෑ. උස මහතක් නෑ. අකුරු වචන අදාළ නෑ. කිසිම වර් බේදයක් නෑ. කොයි වෙලාවෙ කොයි කොනකින් කොහොම හඬ ඇහෙයිද දැනෙයිද දන්නෙ නෑ. අන්න වෙලාවට සඳුන් ඔයාට ඒක ඇහෙන දැනෙන එක නතර කර ගන්නත් බෑ සහෝදරයා..."
"මෙන්න පාර මේකිත් පටන් ගත්තා දාර් ශණික වදන් දෙන්න..." එහෙම කියාගෙන සඳුන් ගිහින් තමන්ගෙ පුටුවේ වාඩි වුණා.
ෆිස් එකේ උන්ට සමුදුන්න සඳුන් දවල් දොලහ වෙද්දි ආයෙමත් ටැක්සියට ගොඩ වුණේ එයාර් පෝට් එකට පිටත් වෙන්න.
කණ් බීරි කරවන තරම් වාහන සද්දෙට සඳුන් හෝටලයේ කවුලුවෙන් පිටත බැලුවා. පේන මානෙ බිල්ඩින්. ඒවගෙන් එළියට එන මිනිස්සු කන්දරාව හරියට කඩි ගුලකින් එන කඩි වගේ. කොයි තරම් මිනිස්සු තොගයක් මේ ටවුන් එකේ හිරවෙලා ජීවත් වෙනවා ඇද්ද... සඳුන්ට හිතුණා. ඊයේ මුම්බයි එයාර් පෝට් එකෙන් කෙළින්ම හෝටලයට ආව ඔහු කරේ කාපු ගමන් නිදා ගත්ත එක. පැය දහයකටත් වඩා නින්ද ගිය සඳුන්  ඇහැරුණේ ගෙදරින් ආව කෝල් එකට. සමුලුව තියෙන්නේ මුම්බයි වල තරු පහේ හෝටලයක හෙට. ඒක ඉවර වෙලා අනිද්දා උදේම නැවත මව් රට බලා...............

"අද මොකද කරන්නේ..."

සඳුන් උදේ කිරි එක බොන ගමන් කල්පනා කරා. හිමින් ලෑස්ති වෙලා ඔහු පයින්ම හෝටල් ගේට්ටුවෙන් පාරට ආවා.  උදේ වරුවම කුතුහලයෙන් මුම්බයි නගරයේ පයින් ඇවිද්ද සඳුන්ට පෙණුන හැම දෙයක් දිහාම සියුම් විදිහට සිය නේත් කාචයෙන් පිරික්සුවා. ෂාරුක් ඛාන්ගෙ අමිතාබ් බච්චන්ගෙ ගෙවල් වල ගේට්ටු ඉස්සරහ හිටගෙන පොරකමින් සෙල්ෆි ගහන මිනිස්සු දිහා ඔහු නැවතිලා බලන් හිටියා. පාර අයිනේ උක් පොලු අතරට කොළපාට දෙහිගෙඩියක් හිර කරලා මැසිමකින් මිරිකලා හදන උක් බීම වීදුරුවක් බොන්න පෝළිමේ හිටන් ඉන්න මිනිස්සු දිහා බලන් හිටියා.එතන හිටපු බහුතරයෙකුගෙ මූණු දාහෙන් මැළවිලා තිබුණා. හත්දොහකින්වත් නොහෝදපු කකුල් පටි සෙරෙප්පු වලට හිර කරගෙන හිටපු ඉන්දියානු ගෑණු ඇඳන් හිටියෙනම් පෙණුමෙන්ම දාස් ගාණක් වටින සාරි. පුලුවන් තරම් රත්තරන් පුරවන් හිටපු ගෑණු දිහා තව ටිකක් බලන් හිටපු සඳුන්ගෙ හිත ඔවුන් ගැන අනුකම්පාවක් පිරිලා ගියා. මහ දවාලෙ එහෙට මෙහෙට ඇවිදපු සඳුන්ට සැර බඩ ගින්දරක් දැණුනත් කිසි දෙයක් පාර දෙපැත්තෙන් නොකන්න වග බලා ගත්තෙ නන්නාඳුනන රටක සෞඛ්යයට අවදානමක් ගන්න බැරි නිසයි. ඔහු පයින්ම නැවත හෝටල් පරිශ්රයට පිවිසියා.
දවල් කෑමෙන් පස්සෙ කාමරයට වැදුණ ඔහු දුරකථන ඇමතුම් කිහිපයක් ගත්තා.

"ඩිපාට්මන්ට් එකේ උන් මොනවද දන්නෙ නෑ." ඔහු සිය කාර් යාල සගයින් සිහිවුණෙන් මුවගට සිනාවකුත් ආවා.  පොඩි නින්දකට පස්සෙ ඇහැරුණු සඳුන් තේ එකක් ගෙන්නගෙන බිව්වා. ඔහුට හීන් උදාසීන ගතියක් දැණුනා. වෙන රටවල් වලට බලන්න කරන්න බොහෝ දේ තිබුණත් මුම්බයි වල සඳුන්ට දැණුනෙ හිරවෙලා වගේ හැඟීමක්. ඔහු අරවින්දට වට්ස් ඇප් කරා නිකමට. ඔන්න සුපුරුදු වාචාල වාක් වලින් ෆෝන් එකේ තිරය පිරෙන්න පටන් ගත්තා.

" මල්ලී............ මල් පාර පැත්තෙ ගියෙ නෑ තාම? ඒවත් බලා කියා ගනින් ගිය එකේ..."

දුරකථන තිරයේ දිස්වුණු ඔහුගේ වදන් වලට සඳුන්ගේ හිතේ මැවුණේ මේ වෙලාවෙ කට දෙකොනින් කෙළ බේරෙන අරවින්දයගෙ මූණ. සඳුන්ට තනියම හිනාවක් ගියා. සංවාදයෙන් පස්සෙ වොෂ් එකක් දාලා වෙන ඇඳුමකට බැස්ස සඳුන් නිකමට වගේ මොබයිල් එකේ අන්තර්ජාලය ඔස්සේ යමක් හෙව්වා. ඔහු අතින් සර් ච් බාර් එකේ යමක් සටහන් වුණේ හිතට එකපාර ආවා කුතුහලයක් නිසා. ඔහුට ඔහු සෙවූ දේ පිළිබඳ බොහෝ තොරතුරු පිටු හම්බවුණා. එහි තිබුණු එක්තරා අඩවියක ඔහුගේ දෑස නතර වුණේ ඉබේට. එස්කෝට් සර් විස්..? මොකක්ද? රොබෝ චැට් එකක්........! අප්පට සිරි. මේක හරි ඇඩ්වාන්ස් නෙ. අදාළ වෙබ් අඩවියේ ඔහු ටික වෙලාවක් සරිසැරුවා

"මේක හරිම අමුතු ජාතියෙ කස්ටමර් සර් විස් ඒකක්නෙ. අකලංක හිටියානම් පැණි බේරෙයි..."
සඳුන් ඔහු නියැලිරැකියා ක්ෂේත්රය ගැන නිරන්තර කුතුහලයෙන් පිරී ගිය අයෙක් වූයෙන් මේ අමුතුම ජාතියේ පාරිභෝගික සේවාව, ක්රමවේදය හා ක්රමෝපාය ගැන අත්විඳ බලා කියා ගැනීමේ ආසාවක් හිතට ආවා. කොහොමත් හදිසිකාරයෙකු වූ සඳුන් තව දෙපාරක් නොසිතා අන්තර්ජාලය ඔස්සේ ඔහුගේ අවශ්යතාවය සඳහන් කලා. චැට් එක හරහා ලැබුණු තොරතුරු අනුව සියලු කටයුතු ඉතා පිළිවෙලකට සිදුවීමට නියමිතව තිබුණා. ඔහුට වෙනුවෙන් ඉන්දියානු රුපියල් විසිදාහක් ගෙවන්න සිදු වුණත් ඉන් ඔහුට පාඩුවක් වේදෝයි නොසිතුණේ සිය කුතුහලය ඊට වඩා වැඩි මිලක් දැරූ හෙයිනි. හරියටම පුරා පැය දෙකක කාලයක් වෙනුවෙනි.

ඉන්පසු තිරයේ දිස් වුණේ ඉතාමත්ම රූමත් ඉන්දියානු කාන්තවන් කිහිපදෙනෙකුගේ ඡායාරූප පෙළක්. සඳුන්ගේ දබර ඇඟිල්ල අහම්බෙන් මෙන් එක්තරා රූපයක නැවතුණා. සියල්ල සූදානම් වුණා. කොතනද කොහෙද කව්ද යන්න පිළිබඳ කිසිදු සඳහනක් නොවුනෙන් විනාඩි තිහක් වැනි කෙටි කාලයක් ඇතුළතදී ඔහු වෙනුවෙන් සුඛෝපභෝගී මෝටර් රථයක් හෝටල් පරිශ්රයට සඳුන් අදාළ ස්ථානය කරාරැගෙන යාමට පැමිණියා.

ලංකාවේනම් අහලා තිබුණු විදිහට පිරිමි වගේ තැන් හොයාගෙන එතනටම යනවා. අදාල විස්තර වෙනත් ඇඟවුම් ක්රම වලට විශ්වාසවන්තයින් අතර බෙදා හරිනවා. ඒත් මේ ක්රමේ ඊට වඩා ගොඩක් වෙනස්.කව්ද කින්ද මන්ද කොතනද කියන ප්රශ්ණ එක්ක අදාල මැදිහත්කරුවන් සහ කාන්තා තොරතුරු වල රහස්යභාවය මනා ලෙස රකින ගමන් සිය පාරිභෝගිකයින්ට ඉස්තරම් පන්නේ සුඛෝපභෝගිබවක් ඊට ආරූඩ කර තිබුණා. කොටින්ම කිව්වොත් ඉන්දියාවේ ජනපද කල්යාණියන් ඩිජිටල්කරණයට ලක් කර තිබුණා. සඳුන්ට එය අදහාගත නොහැකි වූයෙන් ඉවසිල්ලේ සීමාව පනින්න ඔන්න මෙන්න වුණා. තවත් මදක් හෝ පමා නොවූ ඔහු රථගාලේ කථා වෙනුවෙන්රැඳී තිබූ මෝටර් රථයට ගොඩවුණා. එස්කෝට් සර් විස්..! බලමු මේ මොකක්ද කියලා. සඳුන් කියන්නේ කොහොමත් සෙල්ලක්කාර චරිතයක් නෙමෙයි. ඔහු  අවංක මිනිසෙකු වුණා. අලෙවි ක්ෂේත්රයේදී දැනුම පිපාසිතයෙක්වූ නිසා නව අත්දැකීම් ගැන නිරන්තරයෙන් උත්සුක වූ ඔහු කුතුහලයෙන් බොහෝ දේ ගැන සෙව්වා. උපතින් සිහින් සිරුරක් දැරූ ඔහු එතරම් හැඩි දැඩියෙක් නොවුණත් ඔහුගේ පැහැපත් මුහුණ පුරා වැඩුණුරැවුලෙන් පිරිමියෙකු සතු විය යුතු මනා පෞරුෂත්වයක් ඉලිඹිබු වුණා. හැම වෙලේකම සැහැල්ලුවෙන් අඩිය තිබූ ඔහු සුළං රොදක් වගේ නිතර කෙළිදෙළෙන් දිස්වෙන චරිතයක් වුණත් ඔහේ දෑස් වල මහා ගැඹුරක් තිබුණා. සඳුන් මේ එස්කොට් සර් විස් එක මොකක්ද කියලා බලන්න හිතුවෙත් මේ ලෝකෙ දේවල් සිද්ධවෙන්නෙ කොහොමද කියලා සිය ඇහින් කණින්ම අත් විඳින්න හිතාගෙන. හැබැයි මේ ලෙඩේ ඔලුවට දැම්මෙ නම් අර අරවින්දයා.  මොනව වුණත් සිය සිරුර නන්නාඳුනන පිරිමි රොත්තකට සැරින් සැරේ මුදලට බැර කරන එවන් තරුණියන් මොන වගේද උන් කුමන  සමාජයේ කුමන කුලකයකට යටත් වේද උන්ගේ සිතුම් පැතුම් කෙසේදැයි යන්න  පිරික්සීමට ඔහු මේ අවස්ථාව ප්රයෝජනයට ගන්න ඉටා ගත්තා.

එක්තරා වීදියක ඉතා අලංකාර මිදුලක් සහිත බිලිඩිමක් ලඟ මෝටර් රථය නතර වුණා. බැලූ බැල්මට සුඛෝපභෝගි මහල නිවාසයක් වගේ. විදුලි සෝපානය පස්වැනි තට්ටුවේ නතර වුණා. අලංකෘත බුමුතුරුණු උඩින් රියදුරු තැනගේ පසුපසින් ඇවිද ගිය සඳුන්ට ඉන්දියානු සුවඳ මුසු වුණු ධූමයක සෞම් බවක් නාස් උඩු අගට දැනුණා. රියදුරු තැන ඉන්දියානු ආරයට හුරු ආකාරයට ඉතා පිරිසිදුවත් ගාම්භීර ලෙසත් සිය නිල ඇඳුම දරා සිටියා. දැඩි නිහඬබවක් රජයපු එම මහල ක්රමවත් ලෙස ඉන්දියානු රටාවට සරසා තිබුණේ නවීන පන්නයක පෙනුමක්ද එකතු කරමින්. සඳුන්ට මහරජා කෙනෙකුගේ හැඟීමක් හිතට ආවා. එක්තරා කුටියක් ලඟ නතරවූ රියදුරු තැන අමුතුම ඉංගිරිසි උරුවකට,
"ඔබේ දෙපැය මෙතනනින් ආරම්භ වෙනවා. දෙපැය හමාර වුණාම ඔබට ගැන මතක කරලා කෙට් ඉපණිවිඩයක් දුරකථනය ඔස්සේ ලැබේවි.."

කුටිය තුළට පිවිසීමට සඳුන්ට ඉඩ දුන්රියදුරු තැන නොපෙනී ගියා. සඳුන් ඉතා නිහඬ නිස්කලංක සාලයක් වැනි ඉඩක තනි වුණා. ඔහුට යම් චකිතයක් දැනුණෙන් ඔහු එහි තිබූ සෝපාවකට බරදී හිඳ ගත්තා. හීන් පා සලඹක හඬින් සියලු නිශ්චලභාවයන් බිඳුණා. අන්තර්ජාලය ඔස්සේ දුරකථන තිරයේ දිස්වුණු රුව සඳුන් ඉදිරියේ ජීවමානව වැඩ සිටියා. ලා රතු පාට සල්වාර් ඇඳුමකින් හැඩ වී සුදු පැහැ දුහුල් සලුවකින් සිය ලමැද වස්සගෙන සිටි සැබැවින්ම රූමත් බව ඔහුගේ නුවන් සාක්ෂි දැරුවා. මුවැත්තියක්වන් අහිංසක ඇගේ ඇස් නොසන්සුන්තාවයකින් සැලෙනයුරු සඳුන් දැක්කා.

"බය වෙන්න එපා. මෙතනින් ඉඳ ගන්න. මං ආවේ ඔයාගෙන් කිසි දෙයක් ගන්න නෙමෙයි. මට ඕනෙ එක්ක ටිකක් කතා කරන්න විතරයි. සඳුන් පැහැදිළි ඉංග්රීසි බසින් හෙමින් පැවසුවේ තම සෝපාවේ අනික් කොන ඈට පෙන්වමින්. ඇගේ මුහුණින් ප්රශ්නාර් ථයක ලකුණු පහළ වුණා. නියම ඉන්දියානු කාන්තාවක පරිද්දෙන් ඇය ඉතා කීකරුව මනා සංයමයකින් එහි හිඳ ගත්තා. වෙතින් හැමූ විලවුන් සුවඳ මට පිච්චමල් යායක් සිහි කරා.
"කතා කරන්න..? මහත්තයා කව්ද? එතකොට මහත්තයාගෙ සල්ලි...?" පළමුවරට ඇගේ හඬ අවදි කලා.
"ඒකට කමක් නෑ..? සඳුන් කතාවට මුල පිරුවේ තමාව ඈට හඳුන්වා දීමෙන්. කෙමෙන් කෙමෙන් ඇගේ බිය දුරුවීමට ඉඩ හළ ඔහු ඇගේ සියලු විස්තර විමසා සිටියා. ඇගේ නම, ගම, මුම්බයි නගරයට ඇගේ පැමිණීම සහ මෙවන්රැකියාවක් නිරත වීමට ඈට සිත්දුන් හේතු සියල්ල පිළිබඳ ඔහු විමසිලිමත් වූවා. ඈටම උරු වූ තාලයකට සඳුන් හා කැඩුණු ඉංග්රීසි බසින් දොඩමලු වීම ඇරඹුවා.
ඇය නමින් ආර් චනා වූවාය. තමිල්නාඩු ප්රාන්තයේ ඌට් නගරයේ උපත ලද ඈකුඩා කලම මව මිය ගොසිනි. සිය පියා හා බාල සොහොයුරා සමඟ ඉතා දුෂ්කර එහෙත් සරළ දිවියක් උරුමව උපන් සියලු බාධක මැද ඉගෙන ගත්තෙන් පසුකලෙක ඈට කුඩා පාසැලක ගුරු තනතුරක් ලැබුවාය. මුලසිටම ගෙදර අඟහිඟකම් යාන්තමට පියවාගත්තේ තේ ගස් අතර පොර බැදූ තාත්තා ඉපයූ සොච්චම් මුදලකිනි. ආර් චනා ඉපයූ සියලු දෑ සිය සොහොයුරාගේ ඉදිරි අධ්යාපන කටයුතු සඳහා යෙදවීය. නවදිල්ලියේ විශ්ව විද්යාල වරම් ලද සිය සොහොයුරා ගැන පියා ගමේ සියල්ලන් ඉදිරියේ ආඩම්බර වූ හැටි ඇය තෙත්වූ දෙනෙත් ඇතුව විස්තර කලාය. කඳුලු පිරි ඇගේ දෑස් දිලිසිණි. රත්රන් එකතු කල ඉන්දියානු කාන්තාවන් අතර වෙනස්ම වූ කෙනෙකු බව සඳුන්ට හැඟිණි. සැබෑ පිරිමියෙකුගේ ඉවක් සඳුන් වෙතින් ලද නිදහසේ කතා කරන්නට වූයෙන් තවත් බොහෝ දෑ හෙළිදරව් කලේ කාලාන්තරයක් තිස්සේ හිතේ හිරකරන් උන් මහා බරක් බිම තියන්නාක් මෙන් සැහැල්ලුවෙමිනි. එසේ වූයේ සමහරවිට ඈට ඇහුම්කන් දෙන්නට හෝ ගැන වද වීමට හෝ  කෙනෙකු මින් පෙර කිසිදාක ඈට හමු නොවී තිබූ නිසා විය හැක. කිසිත් නාහා තමන් ගෙවා වෙන්කල හෝරා කිහිපයේ සෑම මිනිත්තුවක්ම කෑදරකමින් මස් බුදින හිවලුන් වන් වූ සලෙලුන්ට උන්ගේ කාම් පිපාසාව මත්තේ විනා ගැනවගක් අවැසි වූයේ නැත. සඳුන් නැවතත් ඇගේ හඬට කණ්දිණි.

"හැමදාම බාබු නිවාඩුවට මල්ලි එනකොට ස්ටේසම ලඟට ගියා එක්කන් එන්න. දෙන්නා එක්ක පයින්ම හිනාවෙවී ගෙදර එනවා එදාට. දවසක් එක නිවාඩුවක මල්ලි එක්කන් එන්න ස්ටේසම ලඟට ගියාට එයා ඇවිත් හිටියේ නෑ. බාබු පහුවදාත් ගිහින් රෑ වෙනකන් එන කෝච්චි දිහා බලන් ඉඳලා හූල්ල හූල්ල ගෙදර ආවා. ඔය විදිහට දවස් ගණන් සති ගණන් ගෙවිලා ගිහින් මාස ගණන් පහු වුණා. මල්ලි ආවේ නෑ. කිසිම ආරංචියක් තිබ්බෙ නෑ. බාබු ලෙඩ ඈඳට වැටුණා. මං අසරණ වුණා. මට බාබු තනියම දාලා රස්සාවට යන්නත් බෑ. මට ඉස්කෝලෙනුත් ප්රශ්ණ ආවා. අන්තිමට මං තීරණයක් අරන් මල්ලි හොයාගෙන ගියා. එයාගේ බෝඩිමේ අය කිව්වේ මහ පුදුම කතාවක්. මල්ලි මාස ගාණකින් බෝඩිමට ඇවිත් නෑ. අය හිතලා තිබුණෙ මල්ලි ගෙදර ආවා කියලා. යතුර ඉල්ලන් මං මල්ලි හිටපු කාමරේ දොර ඇරියා. දොර යට තිබුණු ලියුම් කිහිපයක් මගේ කකුලට පෑගුණා. සේරම මං එයාට ලිව්ව ඒවා. කියන්නේ මං ලියපු කිසි දෙයක් මල්ලි දැකලා තිබිලා නෑ. මල්ලි කොහෙද..? මට කලන්තෙ ගතියක් දැනුණා. මං එයාගෙ ඇඳුම් අල්මාරිය ඇද්දා. මොනමහරි හෝඩුවාවක් හම්බවෙයි කියලා. ඒත් එයා ලියපු පොතක් එයාගේ මේසෙ උඩ තිබ්බා. උඩින් පල්ලෙන් පිටු පෙරළපු මං ඒක මගේ බෑග් එකට දාගත්තා.

එදා ගෙදර එද්දි මහ රෑ වෙලා. ඌට් වල ඉඳන් දිල්ලියට ගියා කියන්නෙ පොඩි දුරක් නෙමෙයි. දවස් ගාණක් කෝච්චියටම ගියා. ඒත් මං එනකොට බාබු හිටියෙ නෑ. එයා නින්දෙන්ම මාව දාලා සදහටම ගිහින් තිබුණා. මං කෑ ගහලා ඇඬුවා. මහ මූසල පාලුවකින් මගේ හිත පිරිලා ගියා. මං ගේ ඇතුළෙ තනි වුණා. ඔය අතරෙ මං මල්ලිගෙ පොත කියෙව්වා. ඒකෙ හැම පිටුවකම ලියලා තිබුණේ සමාජ වෙනසක් ගැන. මිනිස්සුන්ගෙ අයිතීන් ගැන. එයා විප්ලවවාදියෙක් වෙලා. මට සේරම තේරුණා. ඇත්තටම කිව්වොත් මල්ලි අතුරුදහන් වෙලා ඇති බවක් මට තේරුණා. අදටත් එයා ජීවතුන් ඉන්නවද නැද්ද මං හරියටම දන්නෙ නෑ. දවසක් මං පොතේ තිබුණු ඇඩ්රස් එකක් හොයාගෙන මුම්බයි වලට ආවා. මල්ලි ගැන මොනවහරි තොරතුරක් දැන ගන්න. උන් තිරිසන්නු. වෙන්න ඕනෙ සේරම විඳලා මං නතර වුණේ අන්තිමට මෙතන. මුල් කාලේ හැමදේකටම පොර බැදුවත් අන්තිමට මං හිත හදා ගත්තා. මට දැන් මේ ජීවිතේ හුරු වෙලා.  මට මැරෙන්න අනන්තවත් හිතුණත් මට මැරෙන්න බෑ. මල්ලි කෝහේ හරි හිටියොත් කියලා හිතෙනවා. එහෙම වුණොත් එයා තනිවෙයි. ඒත් එයාට මොනව වුණාද මං අදටවත් දන්නෙ නෑ. දිරලා විනාස වෙන මේ ශරීර කූඩුව කවදාහරි පස් වෙනකන් මං ගලක් වගේ ඉන්න හිත හදා ගත්තා. ආර් චනාගේ රෝස දෙකපුල් දිගේ කඳුලු කැට රූරා වැටුණා.
සඳුන් සියල්ල නිහඬව අසා සිටියා. බුදුන් කල භාරතයේ නගර සෝබණියන්ගේ කතා ඔහුට සිහිවුණා. පිරිමියෙක් හැටියට ඔහුට හිත නොදකින ගත විතරක් දකින පිරිමි සංහතිය ගැන අප්පිරියාවක් එක්ක ලැජ්ජාවක් ඇති වුණා. ඔහුගේ හදවත සිතිවිලි සම්භාරයකින් පිරී ගියා. ඔහුට අමුත්තක් දැනුණා. මුම්බයි සල්ලාලයින්ට වෙසඟනක් පමණක් වුවත් සඳුන් තුළින් දුටුවේ අප්රමාණ පිවිතුරු බවක්. ලෝක සත්යයට දිරායන ඇගේ කය පසාරු කරගෙන ගොස්  කොතනදැයි කිව නොහැකි ඇගේ හදවත සෙවූ ඔහු එහි සියුම් තැන් ප්රවේසමට ස්පර් කලා

"මං සර් තේ එකක් හදලා දෙන්නද..?" සඳුන්ට කාරුණික වූයෙන් අහිංසක ස්ත්රීත්වයට ඔහුට ගෞරවයක් ඇති වුණා

කෙටි පණිවිඩයක සම්ප්රාප්තියේ හඬින් සඳුන් එකවරම තිගැස්සුණා. සේවා දායකින්ගේ හෝරා දෙකක සමාප්තිය සිහි කැඳවීමකි . සුහද හදවතින් ආර් චනාට සමුදුන් සඳුන් සිතේ බර ගතියක් ඇතුව රියදුරු තැනගේ සහයෙන් නැවත හෝටලයට පැමිණියා.

පසුදින අලෙවි සමුලුවට සහභාගි වූ සඳුන් ගත එහි වුව සිත තිබුණේ අන් තැනකය. පෙරදා රාත්රියේ ඔහුට හරිහැටි නිදා ගැනීම පවා අසීරුවිය. ආර් චනා සමඟ ඇගේ හඬ නිරතුරුව ඔහු හදවතේරැවිදිණි. මනසින් කිසිදා එතරම් සංකීර් අඩවියක අතරමං වූ බවක් ඔහුගේ මතකයක නැත. ඔහුගේ හිත මහා බරකින් පිරී ඇති සැටියකි.  පෙර කිසිදා දැක නොතිබූ අන් රටක ලඳක් මත්තේ සඳුන්ගේ හිත මින් පෙර කවරදාකවත් නොවූ තරම් සිතිවිලි සමුදායකින් පැටලී තිබුණි.  සරළය. පැහැදිලිය. ඉතා කෙටිය. ප්රබලය. වනාහි සඳුන්ගේ මනසේ කෙරෙහි ඇසූ දුටු පමණින් සටහන් වූ දෑය. සඳුන්ට ඇල් රීස් සිහිවුණේ ජීවිතයද අලෙවිය මෙන්ම මනසේ නිරන්තර සිතිවිලි ඝට්ටනයක් සේ හැඟිණි.

" මේකත් එක්තරා ජාතියක බැට්ල් ෆීල්ඩ් එකක් තමයි. අපේම උඩු හිත යටිහිත එක්ක ඔලුව අස්සේ මරා ගන්නවා ඉඩක් අරන් පැළපදියම් වෙන්න.." සඳුන් උන්මාදයෙන් මෙන් තමාටම මුමුණා ගත්තා. ඔහුට හිත එක තැනෙක තවත් රඳනු නොහී වැඩ මුලුවෙන් කලින්ම පැන ගත්තේ නැවතත් අදාළ වෙබ් අඩවියට පිවිස රු. විසිදාහක් ගෙවා නිම කිරීමෙන් පසුව විනාඩි කිහිපයක් තුළ එහි පැමිණි මෝටර් රථ සේවාව ලබාගනු රිසියෙන්.
"මට ආපහු ආර් චනා ලඟට යන්න ඕනෙ. මට එයාට ඒක කියන්න ඕනෙ..."කඩිමුඩියේ අඩි ඉක්මන් කල සඳුන් තමන්ටම කියා ගත්තා.

අලංකාර මිදුල අයිති සුපුරුදු බිල්ඩිම ලඟ සුඛෝපභෝගි සේවා රථය නතර වුණා. විදුලි සෝපානයෙන් පස් වැනි තට්ටුවට ගිය ඔහුට පෙරදා මෙන්ම ඇනවුම් කල හෝරා දෙකක කාලය ගැන රියදුරු තැනගේ සිහි ගැන්වීම ලැබුණා. ඇගේ කුටියට ඇතුලු වූ සඳුන්ට සිය හදවත පෙරදා නොවූ විරූ ගණයේ බියකින් සැලෙන බවක් දැනෙන්නට වුණා. කොයි මොහොතේ හෝ ඇගේ පැමිණීම අපේක්ෂාවෙන්  සඳුන් සුපුරුදු සෝපාවේ වාඩි වූයේ බිම බලාගෙන

"චමක්......චම්ක්.....චමක්........................" පා සලඹක හඬ..! 

ඔහු හිස එසවූයෙන් ඇගේ පියකරු වත මඬල ඊයේටත් වඩා සුන්දර බවක් සඳුන්ට දැනුණා. ඇගේ ඇස් වල පෙරදා මෙන් බියපත් වූ බවක් පේන්න නෑ. වෙනුවට ඇගේ ඇස් දීප්තියෙන් දිලිසුණා. පුදුම වී "සර් අදත් ආවා..?" ඇගේ මුහුණේ සියුම් සතුටක සේයාවක් දිස්වුණා. ඊයේ මෙන් දුහුල් සලුවකින් ලමැද වසා නොසිටි කර පළලට කපා ඉන්දියානු මෝස්තරයකට එම්බ්රොයිඩර් කර තිබූ සුදු පැහැ සල්වාරයක් හැඳ සිටි ආසියානු ලාලිත්යයේ පිලිඹිබුවන් වන් වූ වෙතින් ඊයෙ මෙන්ම පිච්ච මල් සුවඳක් හැමුවා. පැහැපත්ය. මනා සේ හැඩැති ඇගේ දේහයේ තුළ සැඟවුණු සඳුන් හඳුනාගත් සියුමැලි හද පිවිතුරුය. සැබැවින්ම ඔහුට නොඉඳුල් මලක් මෙන් වූවාය. ආර් චනාගේ හඬින් සඳුන් මනෝ ලෝකයෙන් එළියට බැස්සා

" සර් තේ එකක් දෙන්නද?”

සඳුන් හිස වැනුවා. ඔහුට පිටුපා සිට ගත් තේ සකසන අයුරු සඳුන් බලා සිටියා. සඳුන් වනාහි සල්ලාල කුලකයට අයත් වන්නෙකු නොවුණා. ආවාට ගියාට ගැහැණියකුට විශේෂත්වයක් නොදක්වන ඔහුගේ තේරීම් ඉතා ප්රවේසම්කාරි වුණා. දුලබ කුලකයට උරුම්කම් කීමට ආර් චනා සමත් වී ඇති බවක් සඳුන්වත් හරිහැටි දැන සිටියේ නැත. විසින් පිළිගන්වනු ලැබූ තේ කෝප්ප්ය තොල ගාමින් සඳුන් සිය් අහඬ අවදි කලා.
"ආර් චනා.. මං ආවේ ඔයාට ඊයෙ කියන්න බැරි වුණු දෙයක් කියලා යන්න...." ඇගේ දෑස් දැල්වෙන හැටිත් දෙතොල් සැලෙන හැටිත් ඔහු දුටුවා.  යමක් පැවසීමට මෙන් තැනූ සැණින් නිහඬ වූවා

"මට ඕනේ වුණේ අහන්න මේ රස්සාව නවත්තන්න බැරිද කියලා. ඔයාට පුලුවන් මීට වඩා හොඳ වෙන දෙයක් කරන්න. ඔයා ගුරුවරියක් වෙලා හිටියෙ. ඔයාට පුලුවන් ආපහු ඒක කරන්න. ඔයාට කොහොමත් පුලුවන් මීට වඩා හොඳ දෙයක් කරන්න. මෙතනින් එළියට යන්න ආර් චනා. මං මේ ටික නොකියා ගියානම් මට ජීවිතේ ආයෙත් සැනසීමෙන් නිදා ගන්න වෙන්නෙ නෑ.." ඇගේ ඇස් තෙත්වෙනු දුටු සඳුන්ට එය දරdගත නොහී ලඟට ගොස් ලඟින් හිඳ ගත්තා

"මං හිත රිද්දන්න හිතාගෙන කිව්වෙ නෑ..."

"නෑ මට ඔය තරම් ගෞරවයක් වටිනාකමක් කිසිම පිරිමියෙක් දීලා නෑ. එහෙම කෙනෙක් මගේ රටේ දැක්කෙ නෑ. මං ඊයේ ගොඩක් කල්පනා කලා. මෙතෙන්ට එන ලොකු මිනිස්සු හැම තත්පරයකම මගේ ඇඟේ ලේ ටික උරා බොද්දී ඔයා විතරක් පැය දෙකපුරාම මගේ කතාව අහන් හිටියා. මගෙ ඇඟට අතක් තිබ්බෙ නෑ. මං දිහා කෑදරකමට බැලුවෙ නෑ. මේක කවුරුවත් විස්වාස කරන එකක් නෑ.." ඉකි ගසා හඬන්නට වූයෙන් සඳුන් ඇගේ හිසට අත තැබුවේය.

"ආර් චනා අඬන්න එපා. මෙතනින් යන්න. මොනවහරි උදව්වක් ඕනෙ වුණොත් මට මේකට කතා කරන්න..." සඳුන් ඔහුගේ දුරකථන අංකය සඳහන් කාඩ් පතක් අත තැබුවා. කඳුලු පිරුණු ඇස් වලින් දුන් ඇගේ අහිංසක බැල්ම දරාගත නුහුණු ඔහු ඈට සමුදීමට නැගිට සිටියා. සඳුන්ට පසු ගමන් දුන් සිය කුටියේ දොර ලඟ නැවතුණා. අවසන් වරට නැවත වතාවක් දෙස බැලූ සඳුන් ඇගේ හිස අතගා මද සිනාවක් පැවා. ඉකි ගසමින් හඬා වැටුණු සඳුන්ගේ දෙපා පාමුල වැළඳ ගත්තෙන් ඔහු වහා ඇය උරහිසින් අල්ලා නැගෙට්ටෙව්වා. ඇගේ දෑසින් ගලා ගිය කඳුලු වල උණුහුම ඔහුගේ පපුවට දැනෙන්නට වුණා.

ඇගේ හර් ස්පන්දනය ඔහුගේ නහරක් පාසා විදුලියක් මෙන් විහිදුණා. අහිංසක ඇගේ කෙස් රොදින් හැමි පිච්ච්මල් සුවඳත් සමඟ සැබැවින්ම මලක් මෙන් msවිතුරු බව සඳුන්ට හැඟුණා. ඇගේ මුදු වත දෙස මදක් උණුහුමින් බාල සිටි සඳුන් ඈට ඉතා කාරුණිකව සමුදී කඩිමුඩියේ පඩිපෙල දිගේ පහළට දිව ගියේ විදුලි සෝපානය එනතුරු එක විනාඩියක්වත් පස්වෙනි මහලේරැඳී සිටීමත් දරාගත නොවූ නිසාවෙන්. ඔහු පයින්ම හෝටලය සොයාගෙන ගියා. අතරමගදී ඔහුට දුරකතනයේ කෙටි පණිවිඩයක හඬ ඇහුණා.

"ඔබේ හෝරා දෙක මෙතැකින් අවසානයි. අපගේ සේවය ලබාගත් ඔබට සුභ දවසක්. ස්තූතියි."

ටුනායකට පිවිසි බව දැන්වෙන ගුවන් සේවිකාවගේ නිවේදනයෙන් සඳුන් සිතිවිලි ගුලාවෙන් මිදුණා. ගුවන් යානයේ කවුලුවෙන් ඈත දිස්වුණු පොල් ගස් යාය දැක්ක සඳුන්ගේ හිතට හීන් සැනසිල්ලක් දැනුනේ සිය නිවසට පැමිණි බවක සුවබර ගතියක් ගතට හිතට දැනුනු නිසාවෙන්. ගුවන් තොටුපල පරිශ්රයට පිවිසීමත් සමඟ ඇස ගැටුනු බුදු පිළිබ වහන්සේ ඔහුගේ දුටු හිත තවත් සැනසීමකින් නිමුනා. ටැක්සියකින් නිවෙස බලා පිටවූ ඔහු මිනිත්තු කිහිපයක කල්පනාවක නිමග්න වුණා.

"යං කිච්චං නොලබති තම්පි දුඛ්ඛං සංකිත්තේන පංච උපාදානකන්ධා දුඛ්ඛා..!"

සිය නිවසේ ගේට්ටුවෙන් ඇතුලු වූ විගස ඔහුවෙත සිය බලු හුරතලා ඩේන් දිව ආවා. උගේ හිස සෙනෙහසින් අත ගෑ සඳුන් නැගිට නිවසේ සීනුව නාද කෙළෙන් එසැණින් දොර ඇරුණා.
"තාත්ති ඇවිල්ලා.." හුරතල් හඬින් බෙරිහන් දුන් පුතුන් දෙදෙනා දෙපැත්තෙන් ඔහුගේ අත්වල එල්ලුණෙන් දෙදෙනාවම එකවර ඔහු ඔසවා ගත්තේ සිය පැටවුන් ආදරයෙන් සිපගනිමින්. පුරා දින තුනක ගමනකට පසු සිය කැදැල්ලට බට සඳුන් ඊලඟට දුටුවේ තම බිළිඳු දියණිය අතැතිව සිනා සළමින් තමන් කරා පිය මනින සෙව්මිණිය

"අය්යා ආවාද..?" ඇගේ හඬින් දෑස් තෙත්වුණු සඳුන් තමාට තුරුලු වූ සිය බිරිඳගේ හිස සෙනෙහසින් සිප ගත්තා. සඳුන්ට උගුරේ යමක් හිරවන්නාක්මෙන් දැනුණෙන් හීනියට වරදකාරිබවක් දෝ යැයි හැඟෙන නොහැඟෙන හැඟීමකින් හිත වෙලුණා.

"අපිට තාත්ති මිස් වෙලා හිටියේ නේද පැටියෝ..." සිය බිලින්ඳියට පවසමින් සෙව්මිණි ඔහු අභියස සිය තිදරු පැටවුන්ට නොදෙවෙනිව හුරතල් වූවාය

සෙව්මිණිගෙත් ආර් චනාගෙත් දෑස් වල වෙනසක්  ඔහු නොදුටින්, සිත් පිවිතුරු හැම ගැහැණියක්ම උතුම් බවත් මවක් වන් බවත් සඳුන්ට හැඟුණා. ඔහුට සිය කාර් යාල සගයා නදුනි ගේ වදන් සිහි වුණා.

"සංගීතය වගේම ආදරයත් විශ්ව භාෂාවක්..!"

-ගයනි දයාරත්න-

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.