හිමිදිරියේ ඇහැරීගෙන ලිප මෙළෙවූ සැටියේ..
හිරිවැටි සීතල වග නෑ බත සරි කර ලහියේ...
කන්පෙති වැසෙනා සේ හිස රැඳුනු සේල පටියේ..
ඉහිරුණු මල් රටා පමණි නුඹෙ දුක දැන හිටියේ..
හැරදා තනිකරදා හිමි නික්මෙන එක දිනෙක..
වෙරදා නෙත නොතෙමා නිදි නෑ නුඹ හැම රැයෙක...
වරදා නැත කරලා අවිහිංසක පතිනියෙක..
පරදා දිනුවෙද පිය අද සිටින කඳුලු වළෙක...
පාසැල නිම වී ගෙන මම දුවන් එන්නෙ ගෙදරයි..
සාලෙට පයලූ විගසින් දුටුවෙ ඔබේ රුවමයි...
නිරන්තරේ නුඹේ පයට පෑගෙන රෙදි මැසිමයි..
ජීවිතයේ බර හෑල්ලු කරපු සේල වියුමයි...
පැළ ඉන්නට නුඹ රිදවූ සොහොයුරු ලෙඩ හන්දා
රැක ගන්නට යැව්වේ සිය දියණිය මෙත් කැන්දා...
පෑරූ අයගේ දරු ගැන සෙනෙහෙ දරන හින්දා..
දෙවියන් මිහිපිට දැක මං හිතින් නුඹට වැන්දා...
අනිත් මවුන් මෙන් නුඹටද පැතුම් තියෙන්නැතී..
එහෙව් හීන සිඳි බිඳි දා හිතින් හඬන්නැතී...
හැම දුක්ගිනි මහමෙර සේ දරා ගන්න ඇතී..
මට රහසින් මං ගැන හිත හූල්ලන්න ඇතී...
නුඹේ කඳුලු පිසගෙන අද මං නැගිටින දවසේ..
පින පලදෙන් ඉන්නට හස නගලා දිවි සුවසේ...
පා ඇඳ රැඳි හින්දයි දුක එදා වින්ද වෙහෙසේ..
කෙදිනද හිනැහෙන ඇවිදින දා අම්මා නිවසේ...
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.