
මදුරු නුහුසු සපු විසටත් වැඩිය විසා
නුදුරු දිනේ බිලිගනු කව්දැයි කුකුසා
රුදුරු මාරයගෙ උගුලයි නිල් රකුසා
දළය විසයි පසාරු වෙයි මෙන් පිහිය
මොළය ලෙඩයි ඉන්පසු නෑ හොඳ සිහිය
කළය වගෙයි හිස් වූ වෙසකම් එහිය
ඵලය දුකයි මිත බේරෙන්! ලහිලහිය
නැවුම් ලොවේ උන්නතියයි කෙනෙක් කියයි
මැවුම් පාන ජාලයනම් අගෙයි තමයි
සියුම් ලෙසින් පා කල නිල් අඩෙවි ගොඩයි
ගොයුම් දෙසූ දෑ මන නෑ සිහි විකලයි
පවුල් පිටින් ඇවිලී යන විනාසෙට
අවුල් වෙලා බෝ දරු මේ සාපයට
යවුල් දඬකි කාමය යන අපායට
හවුල් වනු කුමට දන මේ පාපයට
දෙනෙත පිනාගෙන වන සැපනම් කිමදෝ
සැපත සිතාගෙන වැඩුවේ දුක නොවෙදෝ
නියත ඵලය වැගිරෙන අසහනෙ නොවෙදෝ
දියත වනසවන පිලිලක් වනු ඇයිදෝ
සල්ලාලයන් බිහිවෙනු මේ නිසාමය
මල් කැකුලියන් කෙලෙසනු මේ සතාමය
අඳ බාලයන් බෝ කෙලෙ මේ යකාමය
විසගෝරයන් යා යුතු පොරකේමය
අමිල ගුණ වඩා නැණසින් ලොව දකිමූ
වසළ මරුගෙ නිල් ගැටයට හසු නොවෙමූ
මෙල්ල කොට මනස දහමින් සරි කරමූ
නිමල අම නිවන අරමුණු කර ගනිමූ
👍
ReplyDelete👌😊
ReplyDeleteඋපදෙස් රාශියක් ලබාදෙන ඉතා වැදගත් කරුණු පෙලක්.....👌👌
ReplyDeleteThank you 😊
ReplyDelete