Saturday, November 21, 2020

ලොව නම් මම්යැ

ඉඩක් තිබියදිත්

නිදහස් වන්නට

ලේසියෙන්ම..

වැටකුත් බැඳගෙන 

කඩුලුත් ලාගෙන

හිරවී ඉඳගෙන

පොඩි හිඩැසින් නිති

එබිකම් කර කර

දැලෙන් එහා කොන

පුලුවන් තරමට

හෙමිහිට ඉව කර

වෙනස් කරන්නට 

ලොව පෙරළන්නට

තතනන හිත මෙනි..!

ලෝකයම ඇත්තේ..

එහි..,

ඇතුලේම බව නොහැඟී..



රටක් ගැන

කලල් දියේ 

කහල ගොඩ මැද

හෙමිහිට දිනල නෙලුමක්!

පිපෙන්න බලන් ඉන්න

තවත් එක කැකුලක්!

ඒ අස්සෙ ගොදුරකට

මාන බලන කොකෙක්!

ලස්සන තැනක් 

අපිරිසිදු කරලා..

චීන ප්ලාස්ටික්

විල් දියේ පාවෙලා..

පිට දෙසෙන් බක තපස්

ඈයො වැහි වැහැලා..

පුංචි දූපතක කතාවේ

සමරියක් දිගැරිලා..



සංසාර බිත්ති

 


පාට පාට සිදුවීම්
හොඳට නරකට.. 
තවත් ඒවා
හොඳත් නෑ නරකත් නෑ
කලවම් වෙලා පාට...
ලස්සනක් ඇති නැති වුණත්
හිටිනවා තදට
මකනු බෑ 
කඩතොලු වහනු බෑ
පිරියම් කරනු බෑ..
හෑරුණු තැන් පේනවා
සායම් මැදින්...
තට්ටු තට්ටු ගණන්
ඒත් අහුරනවා 
උඩ උඩට පුරුද්දා..
තවත් දිග් ගස්සනව
එකිනෙකට බැඳ බැඳ
දිරලා යන දෑ එක්ක
මේ හිත..!


ලොකු පුංචි

අප්පච්චි

නෑ පිච්චි

දැක නුඹව

දුක් වෙච්චි...

මං පුංචි

ලොකු වෙච්චි

දාක නුඹ

හිනැහෙච්චි..




පඹයා

ගොවියා දෙවියා...
රැකියා පඹයා..


සුවඳ

වප් මඟුල් නිමව රන් වී අතින් ඉසින්නෝ

කප් සුවස් කලක පින් රැස් කරා එවැන්නෝ..

සප්නයක්  නොවේ හෙළ බිමක් සරු කරන්නෝ

සිප් ලදත් කුමට මඩ සුවඳ නොහඳුනන්නෝ..



මල් කැකුළු

රෝස මල් කැකුල බුලතක් දී වැන්ඳා...

පොත් බෑගය ගනිත්දිත් ආයෙත් වැන්ඳා..

දෝතට රස අහර දෙද්දිත් දූ වැන්ඳා...

පුංචි අත අරන් මගෙ හිත ඉකි බින්ඳා..


මා දෙස බැලූ ඒ මුවපොව් ඇස් දෙකට...

පුලුවන් උනා මගෙ හදවත සසලන්ට..

නුඹමයි ඉතින් සිහිවන්නේ මා මනට...

ඇයි මගෙ දුවේ වැන්ඳේ දුන් හැමදේට.?


ඈතින් ඉන්න උන්ගේ දුක දැන ගත්තූ...

කවදැයි ඉන්නෙ.. මිණි මෙනි මේ දූ පුත්තූ..

පැටවුන් පවා රකිනා වනයේ සත්තූ...

දුටුවොත් රිදේවී උන්ගෙත් පපු කැවුතූ..


ඇබ්බැහිය



ඇවිළෙන නිමෙන

විඳවන විඳින

හිනැහෙන හඬන

නොබඳින බැඳෙන...

ගිලිහෙන ලැබෙන

වෙන්වෙන වෙලෙන 

නොමැරෙන මැරෙන

ගැටෙමින පෙමින..

අසම්මත


යමක් සිතුණිද කලත් එය මේ මගේ ජීවිතයනේ දැනිලා..
දෙයක් වෙනකන් දැනන් හිටියද අනේ මට වැරදුණා කියලා...
මොකෙක් කීවත් මමනෙ දන්නේ අදහගෙන විස්වාස කරලා..
දිනක් එළැඹේ කාට කාටත් සිතන්නට නැවතිල්ලෙ ඉඳලා...

තුරුණු කාලය රූපයේ කෙළිලොලේ රඟ සදහටයි සිතලා..
මැවුණු ලෝකය ගෙදර අයවත් දරුවනුත් යට කරන් නැගිලා...
සිතුණු පෙම් හැඟුමන් දිගේ නෙක බිත්ති සතරට හොරෙන් පියලා..
ගෙවුණු දින සති රට වටේ නොනැවතී එතෙරත් ගතින් වෙළිලා...

දුන්නු වදනෙයි දුටුව ඇත්තෙයි වෙනස බෝමයි හොඳට පෙනිලා..
පැන්නුවත් අස අසා ඇයි මට කලේ රැවටිලි කඳුලු සළලා...
වැන්නු සිත්තර බොරු තමයි දැන් පලක් නෑ  තව වාද කරලා..
කරනු කිම අද චපල ඔහුගේ කටත් එක්කම හඬත් වරලා... 

ගත්ත දේවල් අහවරයි දැන් බිඳි බඳුන් ඕනෙ නෑ කියලා..
වත්ත මායිං කුටුම්බය සැම කිසිත් නැති කර නොගෙන රැකලා...
සත්ත කරුණා පෙරදැරිව ඔහු උපාසක අද බවුන් වඩලා..
ඇත්ත දන්නේ තනිව හඬනා කත වුවත් ඈ නිහඬ කරලා...

හෙලන සුසුමේ උණුහුමට මුලු ලොව දැවී යාදෝ හැඟෙන්නේ..
දකින විට සුදු පුතුගෙ මුව මඟ හැරුණු කාලය සිහි ගෙනෙන්නේ...
ඇහෙන හිමිගේ හඬින් මහ වරදක තිගැස්සුම හද නැගෙන්නේ..
තැවෙන සිත හා රැළි වැටෙන ගත පමණි ඉතිරිය අද දැනෙන්නේ...