යමක් සිතුණිද කලත් එය මේ මගේ ජීවිතයනේ දැනිලා..
දෙයක් වෙනකන් දැනන් හිටියද අනේ මට වැරදුණා කියලා...
මොකෙක් කීවත් මමනෙ දන්නේ අදහගෙන විස්වාස කරලා..
දිනක් එළැඹේ කාට කාටත් සිතන්නට නැවතිල්ලෙ ඉඳලා...
තුරුණු කාලය රූපයේ කෙළිලොලේ රඟ සදහටයි සිතලා..
මැවුණු ලෝකය ගෙදර අයවත් දරුවනුත් යට කරන් නැගිලා...
සිතුණු පෙම් හැඟුමන් දිගේ නෙක බිත්ති සතරට හොරෙන් පියලා..
ගෙවුණු දින සති රට වටේ නොනැවතී එතෙරත් ගතින් වෙළිලා...
දුන්නු වදනෙයි දුටුව ඇත්තෙයි වෙනස බෝමයි හොඳට පෙනිලා..
පැන්නුවත් අස අසා ඇයි මට කලේ රැවටිලි කඳුලු සළලා...
වැන්නු සිත්තර බොරු තමයි දැන් පලක් නෑ තව වාද කරලා..
කරනු කිම අද චපල ඔහුගේ කටත් එක්කම හඬත් වරලා...
ගත්ත දේවල් අහවරයි දැන් බිඳි බඳුන් ඕනෙ නෑ කියලා..
වත්ත මායිං කුටුම්බය සැම කිසිත් නැති කර නොගෙන රැකලා...
සත්ත කරුණා පෙරදැරිව ඔහු උපාසක අද බවුන් වඩලා..
ඇත්ත දන්නේ තනිව හඬනා කත වුවත් ඈ නිහඬ කරලා...
හෙලන සුසුමේ උණුහුමට මුලු ලොව දැවී යාදෝ හැඟෙන්නේ..
දකින විට සුදු පුතුගෙ මුව මඟ හැරුණු කාලය සිහි ගෙනෙන්නේ...
ඇහෙන හිමිගේ හඬින් මහ වරදක තිගැස්සුම හද නැගෙන්නේ..
තැවෙන සිත හා රැළි වැටෙන ගත පමණි ඉතිරිය අද දැනෙන්නේ...
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.