Thursday, May 20, 2021

මතක මල්

 සොයනෙමි මනැස් පිටු අතර

ඔබ කියන දෑ නිරතුරුවම...

කියවමි ඔබ එවන දෑ

අකුරෙන් අකුර අසීරුවට හෙමින් 

අමුණන සෙනෙහසේ නූල් පොටින්..

මගෙ මැණික යැයි ඔබ අමතයි

මා හද මල් පිපී සුවඳ උතුරායයි...

මතක පොත මත එකිනෙක අතුරමි

ආයෙ ආයෙම සිඹිනු රිසියෙන්..

සොය සොයා ඒ අසෙනි මල්

ඔබේ අසිරි මහ වරුසා මැද

අතොර නැතුවම මහද පතිත වූ...




Tuesday, May 11, 2021

එන්න අපේ ගමට~ (කුසුම්සිරිඟර විරිත)

රාවණ පුරාවතට වග කියනා මෙපුර ගැනා

යාවුණ උමං වලට මඟ තියෙනා පොලෝ කැණා

හාවුණ ගුහා වලට දොර වැසුණා රන් රැකුණා

පේවුණ පරපුරකට ඉඟි දෙවනා දස දෙසිනා


පෑගුණ තැන මිණිකැට එය මොන දන දැන ඉන්නේ

ගෑවුණ තැන සිසිලට අය එහි එන සැනසෙන්නේ

පාවුණ මිහිදුමකට වෙලුමට ඉණ ඉඩ දෙන්නේ

පෑදුන දිය බුබුලට මුව දී ගෙන ලොල් වෙන්නේ


අමයුරු පෙමක ගිලී සිහිනෙක අත් පටලාගෙන

ඇවිදින මඟක ලිලී ගාලක නෙත් නිති පටලන

ගිලිහෙන පින්න ඇලී ලාමක සිත් හිරිවට්ටන

සනහන ගතක ගැලී යාමෙක මත් වී දඟලන


මල් ගොමු වල තුරුලේ කිචි බිචියේ විහඟ ගුලිය

ගල් පර මැද ලොල්ලේ  දිය කෙළියේ ගං කොමලිය...

සිල් හැර දඟ ඇල්ලේ පෙම් රැලියේ සළුව සැලිය

නිල් කදු නෑ මෙල්ලේ බල සිරියේ නුවරඑලිය..


~ගයනි දයාරත්න~

Monday, May 10, 2021

හැම දිනක්ම මව්වරුන්ගේ දිනකි..❤

යන එන නැවත යන ආයෙත් එන          ඇයට

වදවෙන නිතර සිත සිත දුක් වෙන         ඇයට

කන බොන දේ හදා ලං කර දෙන            ඇයට

නොපෙනෙන දෙවි බඹුන් දෙන් රැකවර ඇයට


කරමින නිගා සුලුකම් පාගන             ලොවක

උහුලන සියල් කරදර පෙරදා                දිනෙක

තනිවුණ සිරව දිවි මග කටයුතු         ගොඩක

කිවමැන කෙලෙස රැක්කෙද නුඹ දියණියෙක


දුවෙකුට මවක මිස කිව්වත් ලොව කවුරූ

මවකට පවා ඉසි කෝ මං දෙන        බහුරූ

සෙනඟට මුවා වී ගෙන උන්  නෑ      රුපු රූ

මතකෙට එන්නෙ ඈ නොම වූ හැටි වියරූ


වැහුණා අනුන්ගේ දොර මට රුදු     ලෙසට

ඇරුණා ඒ දොරම අන් මවකගෙ        දුවට

ඇදුණා මගේ පා නුඹගේ           දොරකඩට

වැටුණා කඳුලු නුඹ ගෙයි දොර ඇරි කලට


දියණිය ලෙසින නෑ ලැබ ඔබ     හව්හරණ

තරුණිය විලස නෑ විඳ ආදර           කරුණ

පැමිණිය සියලු දුක් කරදර          දිවි අරණ

ගැහැණිය නුඹයි ඒ මැද සෙනෙහස සරණ


අම්මාවරුන් දැක ඇත්තෙමි    අනෙක විද

නිම්මා නොමැත දරු පෙම ඒ සැමගෙ හද

සම්මා සතින් ඉඳ අප අත්       නොහළ ලඳ

අම්මා නුඹයි රැජිණිය සැම       මවුන් මැද


දැනුණට දුකක් මං හින්දා          යම් දිනෙක

දෙනවට සමාවක් මට ලෙස    දෙව් ලියෙක

යනවට අපිව හැරදා නුඹ          යම් දිනෙක

හනිකට බුදු වෙයන් ඉන් පෙර බෝ මුලෙක