සියදෙස වසන මිනිහට දෙස් තියනු එපා
හෙළබස හිඟන නම් හෙලුවෙන් වනනු එපා
සරුපස දෙසට රවමින බත ගිලිනු එපා
ලක්දෙස නරකනම් මෙහි දිවි ගෙවනු එපා
මේ රට නොමැති තැන රඳනා කොහිද ඉම
ගං දිය සැනහි සයුරට ආවඩනු කිම
හිවලා කපටි පෙරවා ගෙන බැටලු හම
ඉසි රොඩු පිරුණු මුඩු හිස පිරි ගති අධම
කුඹුරේ සහල් ඇටයෙන් කුස සනහගෙන
වතුරේ උනන සිහිලෙන් දා නිවාගෙන
සිරුරේ දුවන ලේ හෙළ පියෙකුගෙන් වෙන
පහරේ මන්ද කෑපත පර ගැති ලෙසින
කවියට ගීතයට සිතුවම් කලා ගැන
නිරතුරු ගරහමින් කටමැත දොඩාගෙන
ආගම් දහම් පඬි වදනින් අනාගෙන
යන්නේ කොහිද පින්වත වැනි වැනී ගෙන
එදවස අඟුල්මල් නොමඟට වැටුණු තැන
ගුරුකොට පිදූ තැන වැරදී කෙටුණු වින
යකු මතුවෙනු හැකිය බොරු ගුරු වෙසක් ගෙන
සිහියෙන් සිටිමු සුළියකි ලඟ කරකැවෙන