Sunday, May 22, 2022

~පෑහෙන නොපෑහෙන~

වැට පුරවාන වතුසුදු මල් පිපුණාට

කිරි කොක් රෑන් ගේ මුදුනින්  සැරුවාට 

පොහො දා හඳේ මුදු එළි බිම වැටුණාට

හද කලුවරයි මගෙ සත් අත දිලුනාට


හැමදා නියං එකදා වැහි වළාවේ

ගොවිඳා කවි ගැයූ හැටි ඒ පමාවේ

කවදා වැහි වහීදෝ දිවි තුලාවේ 

මහදා ඉඩෝරේ දුක ඉරි තලාවේ


මාහෙන් මහට ගතවෙන ජීවිත රෝදේ

දාහෙන් බත්වෙලා නෙක සම්මුති මැද්දේ

දෑහෙන් ගලයි දිය මැද ඉකිලන සද්දේ

පෑහෙන් නැති සෙනෙහෙ ලය මැද ගිනි වැද්දේ


-ගයනි-

~(වැඩබිම) සාංකාව~

කෑවයි කියා කුසගිනි දුරු නෑ වාගේ

බීවයි කියා පවසත් නිම නෑ වාගේ

ආවයි පමණි මතකේ ගියෙ නෑ වාගේ 

පාලුයි හිතට මුලු පවුලම නෑ වාගේ


කීවත් නැතුව ඉන්නටනම් බෑ කියලා

මාවත් මතක අමතක ඇති දෝ කරලා

තාමත් කෙළිදෙලෙන් ගෙවු කල සිහි මවලා

ජීවත් වුණත් මළ සේමය හිත වරලා


දෙනයන සිහි වේය මා නෙත තෙත්වේය

කවි පද කියවේය දුල එළි කලුවේය

සනි මිණ දුර වේය සුද්දී සිහි වේය

සුපසන උදේ සූරිය මල හැඬුවේය


ගයනි 😢😢😢

~ නමක් නැති කවි~

ගහේ අතු වැඩිලා අපැහැදිලි තෙලදසුන දැන් දවස් ගානේ...

උසට නැගි අතු සිඳින්නේ කොහොමදැයි මගෙ හිත නිති තැවෙන්නේ..

විදුලි බල ඇණ හිටීමක් දෝ කොතැනදැයි දැන් වරද වන්නේ...

කාටවත් කිය බලනු කෙලෙසද තනිව නෙව මං ගෙදර ඉන්නේ..


කලුවරට ගෙයි ඇතුලෙ ඉනු බැරි ඈ වෙතට ඔහු හනික යන්නේ...

ඔහු ලැබූ ඈ වාසනාවයි කියා මගෙ හිත මට කියන්නේ..

අඳුර ගැන බයවුණානම් මම කෝමදැයි මගෙ දිවි ගෙවන්නේ...

ඒ තියා ගව් ගණන් පියඹා රට පුරා ගොස් වැඩ කරන්නේ..


හිසරදේටත් ඇඳ වියත්තේ ලඟින් ඈ හට ඔහු සිටින්නේ... 

ගිලන් වූ විට මගේ දෑතයි බෙහෙත් දෙන්නට මට හිඳින්නේ..

නැකැත් හෝරාවෙන් සුවඳ කිරිබත් කටක් ඈ මුව කැවෙන්නේ...

වැඩට නොගියොත් මගේ නිවසේ බත් කටක්වත් නෑ ඉදෙන්නේ..


සැලකිලෙන් කුලගෙයිහි ගරු නම්බුවෙන් සැරසී ඈ හිඳින්නේ...

ලතාවක් ගස වටා එති යුතු නොමැතිනම් පෑගිලා යන්නේ..

කතක පිතු, සොහොයුරු ද හිමිගේ රැකවරණ ලැබ ලොව දකින්නේ...

කොයින්දෑ උන්! අම්ම නංගිත් මගේ දෑසින්නේ බලන්නේ..


~ ගයනි ~

Wednesday, February 16, 2022

~උපේක්ෂාව~

අහස ගුගුරා අකුණු පුපුරා වැටුණු වැහි දිය තලාවේ

තැනූ කරදහි ඔරුව හෙමිහිට පාවෙවී ගිය සීරුවේ

කෙමෙන් පෙඟුනෙන්, කැඩී වැටුනෙන් යාත්‍රාවත් නිමාවේ

දිවිය අනියත බවයි ඒ නම්, මෙයයි තතු ලෝ සැබෑවේ


කැමති අකමැති වුවත් අටලෝ දමට මුව පෑ යුතු වෙතේ 

ඔබට මට ලෝ සතුන් සැමටම එක ලෙසයි මේ අනියතේ

කුසල් වඩවා, මරා අකුසල් ගෙවන දිවි නියතයි සෙතේ

පමා නැති දහමින් දැමුණු සිත දකී කරුණා බුදු නෙතේ


අකාලික ලොව සදාකාලික පෙමක් සොයනුයේ කුමටදෝ

අතරමන් වූ සතෙකුගෙන් තව සතෙකු හට මොන සරණදෝ

අනේ මගෙ හිමි මා මුලා කොට කුමන සැපතක් සෙව්වෙදෝ

මනෙත හඬවා සෙවූ සම්පත දැනුදු නුඹ හට ලැබුණිදෝ


එවූ නින්දා, ඇනුම්, ගැරහුම්, දරා ගත්තෙමි කඳුලැලින්

මගේ කූඩුව කැඩී ඉහිරී බිමට වැටුනා සහමුලින්

මගේ හිත පිරි නුඹට පිදු පෙම මිටින් ගුලි කොට හද මලින්

සඟව ගත්තෙමි ලොවට රහසින් කෙනෙක් නොදකින සේ විළින්


යසදරා වත කිවනොහේ මට දැනෙන දුක් සෝ අපමණයි

එදා සිදුහත් දමා ගියෙ ඇය ලොවට අනුකම්පාවෙනුයි

මගේ හිමි මට අහිමි වුයේ නැගුනු ඉසි කෝ මන් නිසයි

සමාදානය කඩා ඔහු බොරු කෙරෙන් පිරුවේ පාපයයි


රකිමි මුනිවත බලා ඊළඟ නුඹේ පියවර කිම කියා

දරනු හැර මම කුමක් කරමිද හඬනු පල නැත දුක අයා

සාප නොකරමි මුසා නොකියමි නුඹට එරෙහිව දොස තියා

දුකක් නොම වන් මෙවන් නුඹ හට පතමි සෙත කවි පද ලියා

Tuesday, February 15, 2022

~කඳුකරයේ ගෙවුණු ළමා විය~

මීදුම වැසු තුරු සිහිලෙන් කුල්මත්ය

මල් තුහිනයෙන් වටවූ තණ පිටි තෙත්ය

විහඟ නදින් ගං දෑලෙන් මන්මත්ය

මලින් පිරුණු කඳුකරයම පින්වත්ය


වැව් දිය සැරූ සුළඟින් දිය රැලි ගැස්සේ

ඕලු මල් පිපී කහ සළු එලුවාසේ

දිය කාවුන්ගෙ නිරතුරු දඩයම් ඔස්සේ

මින් රල සැඟවුනේ දිය මල් කොළ අස්සේ


සොරොව් කපොල්ලෙන් ඇරඹුණු ගඟ අයිනේ

වැව් තාවුල්ල කෙලවර ලඳු වන මානේ

නගා මැරූ අල මල් පිපි දුටු සැනිනේ

බාල වියට මගෙ මතකය දිව යන්නේ


වල් එනසල් මලින් මගෙ දෑතම පුරවා

ලන්දේ පේර පඳුරෙන් පඳුරට දිව්වා

රතු පැහැයෙන් දිලුණු මහරත්මල් කඩවා

කොක්මොට මලින් මල් මිටි මිටි සැරසූවා


තිබ්බටු, කීන, කුඩුදවුලා, බූටෑවේ

කැලෑ වැල් දොඩම් අතු පතරේ සෙව්වේ

කටුගෙඩි නෙල  නෙලා කටු පඳුරුයි හැඹුවේ

ගොටුකොල නොවේ වෙද ගොටුකොල වැල් නෙළුවේ


කිඩාරම් සොයා තේ වතු මැද්දෑවේ 

ගොන් කැකිරිත් කඩන් කඳු හෙළ බඩ ගෑවේ

නයි මල්, බැලුම් මල්, නෙලමින් හැන්දෑවේ

සතුටින් ගෙවුණු මල් විය කඳුලින් සිහිවේ

Monday, January 31, 2022

සිතිවිලි සංඥා

මිරිඟු දියට හඹනා මුවදෙනකි..

සිතිජ ඉමට නැව් නැගි බොලඳියෙකි...

අඳුරේ අතපත ගෑ අඳ ලඳකි..

ඉටිපහනට පෙම් බැඳි මෙරු දුවෙකි...


රැළි බිඳි දිය බිඳ නැත කිසි පවසයි

හිරු නැඟි බැසි ඉම හිස් බව කොඳුරයි

අඳුර එළිය දෙක සම වන බවමයි

නැණ පහනේ මග නැවතුම දෙසටයි

Tuesday, November 23, 2021

~ ඇබර්ඩීන් ~

දරා ගෙන ගලා ගෙන

සීරුවෙන් ඇද හැලුන

කොතෙක් බැලුවත් නෙතට

ඇති නොවෙන ඇල්ල නුඹ... 

සෙනෙහසින් සීතලට 

මීදුමෙන් මුව තැව්ව

දිවිය සරතැස නිව්ව

සොබාදම් දෙවිඳු නුඹ..

බොරලු පාරේ දිගට

තනිව ඇවිදන පයට

දැනෙන රිදුමට වඩා 

ඇහෙන වදනුයි විසම...

මතක පිනි බිඳු මැදින්

කඳුලු සඟවන් නෙතින්

ඔබ නැතුව ඔබ එක්ක

හැමදාම හිඳිමි මම..


Tuesday, October 26, 2021

💎

කිසිදාක එක්නොවෙන

ගංදෑල අප දෙදෙන

ඒ මැදින් සෙනෙහසේ

දියදහර නිති ගලන...

සාරබිම් තෙත් කරන

තුරු මුදුන් පල දරන

මල් සුවඳ පතුරවා

හරිත යායක් මවන...

සයුර කොන නිමා වෙන

නමුදු මේ යන ගමන

සොඳුරු ඒ අතර තුර

සෑම මොහොතම ගෙවුණ...





Sunday, September 26, 2021

නිදහස් පල

ගහක් යට සුවක් දෙත

දිවුල් පල ගොඩක් වෙත

මගේ කිව් කෙනෙක් නැත

කැලේ මැද වැඩී ඇත



Friday, September 10, 2021

~ අම්මා ~


හිමිදිරියේ ඇහැරීගෙන ලිප මෙළෙවූ සැටියේ

හිරිවැටි සීතල වග නෑ බත සරි කර ලහි ලහියේ...

කන්පෙති වැසෙනා සේ හිස රැඳුනු සේල පටියේ

ඉහිරුණු මල් රටා පමණි නුඹෙ දුක දැන හිටියේ..


හැරදා තනිකරදා හිමි නික්මෙන එක දිනෙක

වෙරදා නෙත නොතෙමා නිදි නෑ නුඹ හැම රැයෙක...

වරදා නැත කරලා අවිහිංසක පතිනියෙක

පරදා දිනුවෙද පිය අද සිටින කඳුලු වළෙක..


පාසැල නිම වී ගෙන මම දුවන් එන්නෙ ගෙදරයි

සාලෙට පයලූ විගසින් දුටුවෙ ඔබේ රුවමයි...

නිරන්තරේ නුඹේ පයට පෑගෙන රෙදි මැසිමයි

ජීවිතයේ බර හෑල්ලු කරපු සේල වියුමයි..


පැළ ඉන්නට නුඹ රිදවූ සොහොයුරු ලෙඩ හන්දා

රැක ගන්නට යැව්වේ සිය දියණිය මෙත් කැන්දා...

පෑරූ අයගේ දරු ගැන සෙනෙහෙ දරන හින්දා

දෙවියන් මිහිපිට දැක මං හිතින් නුඹට වැන්දා..


අනිත් මවුන් මෙන් නුඹටද පැතුම් තියෙන්නැතී

එහෙව් හීන සිඳි බිඳි දා හිතින් හඬන්නැතී...

හැම දුක්ගිනි මහමෙර සේ දරා ගන්න ඇතී

මට රහසින් මං ගැන හිත හූල්ලන්න ඇතී..


නුඹේ කඳුලු පිසගෙන අද මං නැගිටින දවසේ

පින පලදෙන් ඉන්නට හස නගලා දිවි සුවසේ...

පාද දුබල නිසා එදා වින්ද දුකට වෙහෙසේ

කෙදිනද හිනැහෙන සතුටින් අම්මා අපෙ නිවසේ..

~ඒ කාලේ අප්පච්චි~


රෑ අහසේ තරු ලකුණේ    සලකුණට

මග පාදා පෙරටුව අඹු      දරු දෙකට...

යකුන් දුරැර දිය පාදා           පිපාසෙට

සාත්තු නායක දිවි       කතරේ ගැලට..


තීන්දුව නිසා හිත්පිත් නැති         තැනක

ආණ්ඩුව නොපිට පෙරළී        විනාසෙක

මනාපයේ තරගය පැරදුණු          දිනෙක

හැරී වරෙන් දෙව්මව් ඇති  දොර ලඟක


උඩඟුකමින් ලැබෙනා දෙය      නැති හින්දා

පවිටු දමේ කයි කාරණ         බොරු හින්දා

නොමඟ යවන වෙස් බැන්දෝ  අත හැරදා

දැන්වත් තැවී හැරියන් පැය  මදි      හින්දා


දුප්පත්කම පොහොසත් කම  කිම වෙනස

හැබෑ ධනය වත්කම, රැඳි            හද පියස

සමාව පිරි මෙත් කුවෙරිය          රැඳි නිවස

කාලය ඉඳින් නෑ එනු         නොම වී කුකුස