Wednesday, February 16, 2022

~උපේක්ෂාව~

අහස ගුගුරා අකුණු පුපුරා වැටුණු වැහි දිය තලාවේ

තැනූ කරදහි ඔරුව හෙමිහිට පාවෙවී ගිය සීරුවේ

කෙමෙන් පෙඟුනෙන්, කැඩී වැටුනෙන් යාත්‍රාවත් නිමාවේ

දිවිය අනියත බවයි ඒ නම්, මෙයයි තතු ලෝ සැබෑවේ


කැමති අකමැති වුවත් අටලෝ දමට මුව පෑ යුතු වෙතේ 

ඔබට මට ලෝ සතුන් සැමටම එක ලෙසයි මේ අනියතේ

කුසල් වඩවා, මරා අකුසල් ගෙවන දිවි නියතයි සෙතේ

පමා නැති දහමින් දැමුණු සිත දකී කරුණා බුදු නෙතේ


අකාලික ලොව සදාකාලික පෙමක් සොයනුයේ කුමටදෝ

අතරමන් වූ සතෙකුගෙන් තව සතෙකු හට මොන සරණදෝ

අනේ මගෙ හිමි මා මුලා කොට කුමන සැපතක් සෙව්වෙදෝ

මනෙත හඬවා සෙවූ සම්පත දැනුදු නුඹ හට ලැබුණිදෝ


එවූ නින්දා, ඇනුම්, ගැරහුම්, දරා ගත්තෙමි කඳුලැලින්

මගේ කූඩුව කැඩී ඉහිරී බිමට වැටුනා සහමුලින්

මගේ හිත පිරි නුඹට පිදු පෙම මිටින් ගුලි කොට හද මලින්

සඟව ගත්තෙමි ලොවට රහසින් කෙනෙක් නොදකින සේ විළින්


යසදරා වත කිවනොහේ මට දැනෙන දුක් සෝ අපමණයි

එදා සිදුහත් දමා ගියෙ ඇය ලොවට අනුකම්පාවෙනුයි

මගේ හිමි මට අහිමි වුයේ නැගුනු ඉසි කෝ මන් නිසයි

සමාදානය කඩා ඔහු බොරු කෙරෙන් පිරුවේ පාපයයි


රකිමි මුනිවත බලා ඊළඟ නුඹේ පියවර කිම කියා

දරනු හැර මම කුමක් කරමිද හඬනු පල නැත දුක අයා

සාප නොකරමි මුසා නොකියමි නුඹට එරෙහිව දොස තියා

දුකක් නොම වන් මෙවන් නුඹ හට පතමි සෙත කවි පද ලියා

Tuesday, February 15, 2022

~කඳුකරයේ ගෙවුණු ළමා විය~

මීදුම වැසු තුරු සිහිලෙන් කුල්මත්ය

මල් තුහිනයෙන් වටවූ තණ පිටි තෙත්ය

විහඟ නදින් ගං දෑලෙන් මන්මත්ය

මලින් පිරුණු කඳුකරයම පින්වත්ය


වැව් දිය සැරූ සුළඟින් දිය රැලි ගැස්සේ

ඕලු මල් පිපී කහ සළු එලුවාසේ

දිය කාවුන්ගෙ නිරතුරු දඩයම් ඔස්සේ

මින් රල සැඟවුනේ දිය මල් කොළ අස්සේ


සොරොව් කපොල්ලෙන් ඇරඹුණු ගඟ අයිනේ

වැව් තාවුල්ල කෙලවර ලඳු වන මානේ

නගා මැරූ අල මල් පිපි දුටු සැනිනේ

බාල වියට මගෙ මතකය දිව යන්නේ


වල් එනසල් මලින් මගෙ දෑතම පුරවා

ලන්දේ පේර පඳුරෙන් පඳුරට දිව්වා

රතු පැහැයෙන් දිලුණු මහරත්මල් කඩවා

කොක්මොට මලින් මල් මිටි මිටි සැරසූවා


තිබ්බටු, කීන, කුඩුදවුලා, බූටෑවේ

කැලෑ වැල් දොඩම් අතු පතරේ සෙව්වේ

කටුගෙඩි නෙල  නෙලා කටු පඳුරුයි හැඹුවේ

ගොටුකොල නොවේ වෙද ගොටුකොල වැල් නෙළුවේ


කිඩාරම් සොයා තේ වතු මැද්දෑවේ 

ගොන් කැකිරිත් කඩන් කඳු හෙළ බඩ ගෑවේ

නයි මල්, බැලුම් මල්, නෙලමින් හැන්දෑවේ

සතුටින් ගෙවුණු මල් විය කඳුලින් සිහිවේ