පිහිල්ලෙගොඩ ගල් ගේ, මුල්ලෙගම ආචාරියා, පොරමොලා, බණ්ඩාරදුවාරාළ, ගමා, කලූ..... මේ නම් ගම් මට ගේන්නේ මගේ පුංචිකාලේ සුන්දර මතක වලින් කොටහක්. දවසක දොස්තර ස්පිට්ල් Vanished Trails යන නමින් ලියූ පසු කලෙක ඒ පී ගුණරත්න මහතා අතින් මැකී ගිය දඩමං නමින් පරිවර්තනය වුණු පිහිලේගොඩ ගල්ගේ වැද්දන්ගේ කතාන්දරයේ නම් ගම් කිහිපයක් තමයි ඒ. සිරිලක වැදි ජනයා ගැන දැන ගන්න හොඳ මූලාශ්‍රයන් තමයි මේ දොස්තර මහත්තයා විසින් රචිත ඒ අනර්ඝ පොත වගේම වන සරණ, සුදු වැද්දා වගේ එතුමාගේම අනිත් පොත් 📚 අද මං ලඟක නැතත් මං පුංචි කාලෙදිම මගේ අතට පොතක් දුන්න මාව කියවීමට ලිවීමට හුරු කල තාත්තාට මුලින්ම පිං දෙමි 🙏
මහවැදිරට නමින් ඒ කාලෙ හඳුන්වපු කඳුවලින් වට වෙච්ච නැගෙනහිර පළාතේ වගේම ඌව පළාතේ මහ කැලෑවල ගල්ලෙන්වල මේ අහිංසක වැදි ජනයා ජීවත්වුණා. හීතල වන්නිය, නුවරගල, බලාන, වාලිඹේ හෙළ, බණ්ඩාරදූව, බිංගොඩ, හේනෙබැද්ද, නිල්ගල වගේ ප්‍රදේශ මේ වැද්දන්ගේ වාසභූමි වුණා. කැළණි සරසවියේ ජන සන්නිවේදන අංශයේ ඇදුරු ධම්මික බණ්ඩාර මහතාගේ මග පෙන්වීම යටතේ පහුගිය දවසක ඉතා මහඟු කර්තව්‍යයකට සම්මාදම් වීමේ අවස්ථාවක් Mass Com අපේ කණ්ඩායමට ලැබුණා. අපි වැදි ජනයාගේ මාධ්‍ය භාවිතය (media habits) ගැන සමීක්ෂණ කටයුත්තකට ගිය ඒ ගමනේදී ඉතා අඩු පහසුකම් යටතේ ගුවනට මුසු වෙමින් පැවතෙන දඹාන රේඩියෝව එහෙමත් නැත්තන් ඔවුන්ගේ බසින් "කතා දමන යමකෙ" එෆ් එම් නාලිකාව ද සියැසින් දැක ගත්තා. එදා අපි හැමෝම එකතු වෙලා අපිට හැකි අයුරින් තාක්ෂණික මෙවලමක් ඌරුවරිගේ විමලෙ ඇත්තන්ට හා එහි නායක වන්නියලෑත්තන්ට ප්‍රධානය කරා. සතියේ සිකුරාදා දින උදේ හිටන් හවස් ජාමෙ වෙනකන් "බැද්දෙ හද්දේ" නමින් ගුවන් ගත වෙන උන්ගේ හඬ ගැන නෙමෙයි මං මේ දැන් ලියන්න හදන්නෙ. මං ලියන්නෙ උන්නේ අහිංසකකම ගැන..
~ වැද්දෝද මනුෂ්‍යයෝය...~
එදා උන් හා පැය කිහිපයක් ගෙවූ මට හැඟි දේ ඉතා කෙටියෙන් ලියමි. නායක වන්නිලෑ ඇත්තන් දුටු විට නායකයෙකු සතු වන මනා පෞරුෂයත් ඒ තියුණු දෑස් වල තිබූ ජීවිත නුවණත් ඔහුගේ විනාඩි කිහිපයක කතාවෙන් පසුව ඔහු සතු වූ මහා සමාජ නුවණත් මෙන්ම ඔහු සතු වූ මානව දයාව මා කිසි දා දැක නැතිමුත් අසා කියවා පමණක් ඇති සියැටෙල්වද මට සිහිපත් කරවීය. ඉතා අඩු පහසුකම් මැද එෆ් එම් නාලිකාවක කටයුතු කරගෙනයන ඌරුවරිගේ විමලෙ ඇත්තන්ගේ අප්‍රතිහත ධෛර්යයත් ඒ හෙළ භාෂා දැනුමත් මා පුදුමයට පත් කර වූ අතර සමීක්ෂණය නිසා හමුවූ වැදි මිනිසුන්ගේ කතාබහ මගේ හදවත මානව දයාවෙන්ද අනෙක් පසෙකින් මහා සංවේගයකින්ද පිරවීය. අපේ පැමිණීම අපේක්ෂාවෙන් සිටි ඔවුන් ඉතා කැමත්තෙන් අප ඉදිරියේ "කිරි කොරහ" නටනු මා බලා සිටියේ තෙත්වූ දෑසිනි. මට ඉන් සතුටක් නොදැණුනේ කුඩා කල පටන් ස්පිට්ල් දොස්තර මහතාගේ බොහෝමයක් පොත් කියවා තිබූ මගේ මනසේ ඔවුන් ගරු කටයුතු වූත් ඉතා අහිංසක ජන කොට්ටාශයක්ව තැන්පත් වී සිටි නිසාවෙනි. ඔවුන්ටම ආවේණික වූ ඒ ඇදහිලි පිදවිලි අද කාලයේ සංදර්ශන බවට පත්වී ඇත. මිනිසුන් සත්තු වත්ත බලන්නට ගියද මට එහි යෑමට කිසිදා සිත් නොදේ. ඒ උන්ටද නිදහසේ ජීවත් වීමට අප හා සමානවම අයිතිවාසිකම් ඇති නිසාවෙනි. අපි වන්ම වන වැදි ජනයා බැලීමට අද මිනිසුන් චාරිකා යයි. වෙනස් ජීවීන් මෙන් උන් දිහා බලයි. ඔවුහු ද අපිට පෙනෙන්ට නටති, ගයති, වයති... අහිංසක උන්ටද අද මුදල් ඕනෑ වන්නේ බඩගිනි දැනෙනවිට අද ඊට විසඳුම වෙනස් වී ඇති නිසාවෙනි. දඩයමේ යෑමට අද උන්ට නොහැකිය. කාලය සියල්ල වෙනස් කොට තිබේ. මා කියන්නේ උන් සදහටම වැද්දන් ලෙසම සිටිය යුතු බවනම් නොවේ. උන්ගේ ඒ අහිංසක වූත් සරළවූත් සංස්කෘතිය උපරිමයෙන් තව වසර පහලොවක් හෝ විස්සක් පමණ තිබෙනු ඇතැයි මට සිතේ. එතෙක් උන් අපේම ජන කොටසක් ලෙස සැළකිය හැකිනම් යෙහෙකිය 🙏. දිනෙක මුල්ලෙගම ආචාරියා ලඟට ඊතල සාදා ගැනීමට ගමා සමඟ ගෝන ගාතයක්ද රැගෙන ගිය පොරමොලාට සිය තුවක්කුව අලුත්වැඩියා කිරීමට ආචාරියා ලඟට පැමිණ සිටි ආරච්චිලා එම තුවක්කු බටය අත් හදා බැලීමට දෙන ලදින් එහිදී ගත් ඉලක්කය පොරමොලාට වැරදිණි. දුම් බටය පසෙක ලා හීයෙන් විදිකල එක වරකින්ම උකුස්සෙකු වෙත ගත් ඉලක්කය හරියටම සාර්ථක විය. පසුව ආරච්චිලා විසින් තුවක්කුව පොරමොලා අතට පත් කරන ලදී. එවිට ඒ දුටු මුල්ලෙගම ආචාරියාගේ හඬ මැකී ගිය දඩමං පොතේ දුනුවායෙකුගේ අවසානය ලෙසින් මෙලෙස සටහන් වූ බවක් මට මතකය.
"ආරච්චිලා කරපු වැඩේ බොහෝම නරකයි. මේ බැද්දෙ දක්ෂතම දුනුවායා තමයි ඒ නැති කලේ... මේ වගේ ගෝනෙක් එලාගන්න උගේ හී දණ්ඩට මොනතරම් හයියක් තියෙන්න ඕනෑද.. ඌ ආයෙ එන්නෙ නෑ මේ හී තල අරන් යන්න"... මට මතක හැටියට දෙබස් තිබුණේ එලෙස හෝ ඊට සමානම අදහසකිනි. මට ඒ කියැවූ වේලාවේ හැඟුණේනම් නියම වැද්දා නම් දුනුවායා සමාජයෙන් තුරන් වීම කෙමෙන් කෙමෙන් ඇරඹීම අන්න එතැනදී සිදු වූ බවෙකි. නිවැරදි ඉලක්කයක් ගත හැක්කේ අති දක්ෂයෙකුටම පමණි. ව්‍යාපාරික ලෝකයේ මෙන්ම පුද්ගලික දිවියේද අප සෑම කෙනෙකුම දිනපතා වෙහෙසෙන්නේ නානාවිධ ඉල්කක සපුරා ගැනීමටය. එදා වැද්දන් නිති යෙදුණු ක්‍රියාකාරකම් වලම අද බොහෝ මිනිසුන් විසින් out bound training කියමින් එදිනෙදා රාජාකාරීන් උදෙසා කාර්‍යකෂමතාව වැඩි දියුණු කරගනුවස් මුදල්, කාලය හා ශ්‍රමය වැයකරමින් යෙදෙනු ලැබේ. එලෙසින් බැලු කල වැද්දා නම් වූ මිනිසා ඉලක්කයේ දී අති දක්ශයෝය. නමුත් ඉලක්ක සපුරාගත නොහී දඟලන ශිෂ්ට සම්පන්න වූ මිනිසුන්ට අහිංසක ඔවුන් අමුතු ජීවීන් කොටසක් වැනිය. ඒ දුටු මගේ හිත ඉතා කටෝර සංවේගයකින් පිරී ගියෙන් දැනුදු ඒ අහිංසක මිනිසුන් උන්ටම හුරු වූ බසින් උන්ගේම උරුවෙන් බුලතින් රතු වූ මුව පුරා සිනා සී මානව දයාවෙන් පිරි හදින් අපට මෙසේ ආචාර කරනු මගේ දෙසවනත දෝංකාර දේ...
ඒ "මාම කැච්චක් හොඳමයි.." ලෙසිනි.
~ ගයනි ~