Friday, June 5, 2020

~මොන මඟුලක්ද මන්දා ඒ ලෝකේ~

අත් හරින්නයි හිතෙන්නේ..
ගොඩක් දේවල් සමාදානෙන්...
වෙහෙසයි වගේ හිතටත් ගතටත්..
වාද මොකටද භේද මොකටද...
දවසාවසානයේ සියලු තරඟාදීන්
නිෂ්පලය..හිස්ය...
පිනත් නිෂ්පලය..පවත් නිෂ්පලය...
දිග් ගැහෙනවා විතරමය..
කෝ කිසිත් නැති තැන..?
ස්වර්ගයද නිර්වාණයද එහි නම.?
කොයිවේලේ පණ යයිද නොදන්නා
කාගෙදෝ විමානයක අරක්ගෙන
මමය මටය මගේය යැයි කියා ගන්නා
සදාකාලික කිසිත් නැති...
මායා දැහනක පැටලීගෙන
අනේ එකිනෙකා හිත රිදවන..රිදවගන්න...
ඊගෝය කියන..ලොකුපොඩිය හිතන...
ලස්සනයි හිතන තව කැතයි කියන..
මේ හරිය කියන අර වැරදි කියන...
කෙළවරක් නොමැති අත හරිනුද බැරි..
දුකක්ද මේ මොන... නෑ ඒ සැපක්ලු..
"ඔබ කරන්න" කියන ඒත් මං නොකරන..
"ඔබ කරන්න එපා එය" කියන ඒත් මං කරන...
ඒ අමුතු තැන..
ආදරය පිරී ඇති එහෙත් ඒ නොවිඳින...
විඳින්නෙක් වේද ඊටද ඉඩ නොදෙන..
විශ්වයේ අමුතු ග්‍රහලෝකේ...
හරි වෙනස් ඒ ලෝකේ..!
අත හරිමු ඒ ලෝකේ..
දෑස් පියවූ කල "මම"ය ඒ ලෝකේ..!


Wednesday, June 3, 2020

~ රඹුටන් ලාභයි ~

ලේනුන් තනි ගහට වග කියනා හන්දා
හිමිදිරි පාන්දර සීතල ගත රන්දා
ලහිලහියේ නෙලා දරු දෙදෙනත් කැන්දා
පාරෙ අද්දරින් හිට ගත් සිරි නැන්දා

ගෙඩියක් පහයි ගන්නේ නැතිදෝ නෝනේ
ලොකු ගාණක් නැතේ මගෙ මිදුලේ හැදුණේ
හවහට කලින් අහවර කරගන්නෝනේ
දරු පැටවුන්නෙ බඩගිනි තව නෑ නිමුණේ

"අනෙ අම්මේ යමු"යි පුතු කොඳුරන වේලේ
"තව තියෙනවානේ" දුව අසනා තාලේ
'මට බෑ!' කියා මඟ හැර කෝවිඩ් කාලේ
ගිය හිමි මොකට! සරි කර යුතු බත් වේලේ