අප්පල්ලයට කුරහන් පිටි හලාගෙන
උණු දිය එක්ක පදමට ලුණු දමාගෙන
තලප්පත්ත රවුමට කරකවාගෙන
තලපය ආනමට සරි රස වඩාගෙන..!
අප්පල්ලයට කුරහන් පිටි හලාගෙන
උණු දිය එක්ක පදමට ලුණු දමාගෙන
තලප්පත්ත රවුමට කරකවාගෙන
තලපය ආනමට සරි රස වඩාගෙන..!
බොහෝමයක් කාන්තාවන් සිය ප්‍රේමවන්තයාට හෝ සැමියාට තම ආදරය පුද දෙන්නේ දිව්‍යමය හැඟීමෙනි. සැමියා බිරිඳගේ දෙවියාය ලෙසට කියමනක් ද නිතර ඇසේ. ඒ කෙසේ වුවද බොහෝ බලැති තෙදැති දිව්‍ය පුත්‍රයෝ හමුවේ දිවිතුරු රැකවරණ පතා වැඳ වැටී ගැහැණු නම් සදා රැවටේ...හඬා වැටේ...ජීවිතය යදිමින් හෑල්ලු වී උපරිමයෙන් සියලු දුක් තනිවමැ දරා ගනී. වාසියට උන් මුදාහරින මහා දාර්ශනික සාහිත්‍යමය පිළිතුරු ඉදිරියේ අසරණව අවසන ඕ තොමෝ පොළෝ පස් කති. ඒ ඉතින් එම දිව්‍යපුතුන් පාමුල එතෙකුදු පෑගෙමින් ජීවිතය යැදි දේව දාසීන්ගේ නිද්‍රාගතව සිටිනා කාලි අවතාරය නොදකින අත්නොවිඳින තාක්ය. මේ කවි පේළි වලට නිමිත්ත වූයේ මා සියැසින්ම දුටු සත්‍ය සිදුවීමකි. එය සරළ සිදූවීමක් ලෙසද කිව හැකි වන්නේ එවන් දෑ සමාජයේ අති සුලභ බැවිනි. පුදුමයක් වීමට ඇති එකමැ කාරණය නම් එවැන්නක් අප වටපිටාවේ සිදු නොවේනම්ය.
වරක් "ඔයාටමයි ගෙනෑවේ" කියමින් උගත් බුද්ධිමත් සැදැහැවත් (යැයි දකිනවුන් අදහන) අයෙක් අන් දෙසින් ගෙනා සලුපිළි අඟන කැළකට රහසේ බෙදුවේය. ඒ බෙදුමට ඔහුට දිවි හිමියෙන් ඇපකැපවී සෙනෙහෙ පිදූ දේවතාවියද යටත්වී සිටියාය. මොහොතකට ඈ ඒ මුසා වදනින් රැවටී සොම්නසට පත් වුවද පසුව සැබෑව දැන මා ඉදිරියේ හඬා වැටුණාය. ගැහැණියකට දිව්‍යපුත්‍රයකු යැයි සිතා සිටියෙකුගේ වංචනික බැව් හෙළි වන්නාවූ ඒ වන් කල් කදුරු තිත්ත දරනු උගහටය. පව් කරන්නෝ කෙනෙක්ය. විඳවන්නෝ අන් කෙනෙක්මය. ඈ මා අසළ හඬා වැටෙමින් කඳුලු මැද උන්මාන්දයෙන් මෙන් මුදා හළ දහස් වදන් වලින් බිඳක් මේ පද පේළිවල සිර කරන්නට ගත් මට හැකි තරමේ වෑයමකි මේ.
පසු සටහන - පුදුම වන්නට මට තවත් කරුණක් තිබිණි. ඒ නම් අර කියූ කැළේ ඉතිරි ඇත්තියන්ට මාහැඟි මිතුරියට පැන නැඟි ගැටලුව ඉස්මතු නොම වී තිබීමය. උන් අදටද ඒ සලු හැඩ කොට අඳී. මල් පොකුරක පිපී ඉතින් ඇතැයි කියා සිනාසේ. ඉණිමගේ පෙළින් පෙළට සිනිඳු පා සීරුවට තබන ඔවුනට අවදානමක් ගැන වගක් නැත. හැඬූ ඈ වන් කෙනෙක් ගැන මතකයක් ද නැත. උන් දකින්නෙ හිණිමගේ කෙළවර පමණි. සසර සයුරේ බියකරු බවේ බණ තියා කොයියම්ම මොහොතක හෝ ලඟ ලඟ එන ඊලඟ භයංකර නිමේෂය ගැන හෝ වගේ වගක් නැත. ඕනෑම කතකට වැටුණු හෝ තමන් වැටුණු බව පසක් වෙන වාරයක් වාරයක් පාසා එය නිවැරදි කොට ගනිමින් නැවත ශක්තිමත්ව තනිවම නැගිට ජීවිතය ජය ගත හැක..! තේරුම් ගැනීම තුළ ඔවුනට තවත් එවන් දහස් ගණන් කාන්තාවෝ ද දෑතින් ඔසවා නැගිටවිය හැක. කාන්තාවන් වෙනුවෙන් සමාජයේ කාන්තා හඬ නඟන්නට පළමු කාන්තා අයිතිය, කාන්තා ගෞරවය, කාන්තාවන්ට නිසි තැන, යුක්තිය,...එකී මෙකී නොකී ඒ අදාල හැම දේම කාන්තාවන් තුළින්ම ඔවුනතරින්ම පළමු කොට නිදහස්විය යුතු නොවේදැයි මට සිතිණි(සොබාදම් මාතාව ගෑණුන්ටම ලබා දී ඇති "කාන්තා සිහිය සහ අනතුරට පෙර ඉව"ඉන් ප්‍රධාන වෙනු ඇත). මන්ද ඔය කියන හිංසනයට හෝ අසාධාරණයට බොහෝ අවස්ථාවල ඍජුවම හෝ වකුටුවැ ලුණු ඇඹුල් ලං කරන්නෝ ඕතොමෝමය.
~මොණර පිල්~
නීල පැහැ මුදු සුමුදු වූ පිල් කළඹ විහිදා රඟ දෙවන්නා
සීල ගුණ ඇති කඳ සුරිඳු දෙවි ඇසුර ලබනා පින දරන්නා
කීල ඉඳු සේ නොසැලි නෙත් යුග සියුම් මානෙන් බැලුම් දෙන්නා
කෝල හැර උඩු අහස බල සකි පුරා හඳ සැම දේ දකින්නා...
මොණර රණ සුරු විරු ලෙසින් නුඹ සෙමින් තාලෙන් පා තබන්නේ
මයුර වැනුමෙන් අනඟ රැඟුමින් නාරි හද බැඳලනු තනන්නේ
වපුර ලන ඔය ආල හැඟුමින් බෝම ලිය මන කලඹවන්නේ
පැතිර යුතු ආදරේනම් බෝසත්කමයි, ඔබ නැතිද දන්නේ...
මවාපන් මිහි නොමැති තරමේ සෙනෙහෙ ආදරියගෙ හදේ
ඔතාපන් රන් සලු ලෙසින් නුඹෙ පියාපත් ඇගෙ මුදු බඳේ
දෙසාපන් මුලු සක්වලින් නුඹ තමයි මගෙ පණ රන් ලඳේ
කියාපන් මට සෙබඩ කැලකට බෙදූ පිල් ගැන රන් කඳේ...